×

කොරෝනා හේතුවෙන් ඇමරිකානු-කැනඩා දේශසීමා වසා දැමේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ අද දිනයේ ඇමරිකානු-කැනඩා දේශසීමාව වසා දැමීමට එකඟත්වය පළ කළේය.


ඒ, සියලු අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් තහනම් කරමිනි.

‘සුහද එකඟතාවය මත කැනඩාවට යාබද අපේ උතුරුදිග දේශසීමාව වසා දමන්නෙමු‘‘ යැයි ඇමරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දුන්නේය.

එහිදී ඔහු තවදුරටත් කියා සිටින්නේ දෙරට අතර පවතින ද්වීපාර්ශවික වෙළඳාම කෙරෙහි මෙමගින් බලපෑමක් ඇති නොවනු ඇති බවයි.

කැනඩාවේ අපනයනවලින් 75%ක්ම සිදු කරන්නේ ඇමරිකාව වෙත ය.

මේ අතර දිනපතා ලක්ෂ 2කට ආසන්න පිරිසක් කැනේඩියානු-ඇමරිකානු දේශසීමාව තරණය කරති.

‘‘ඔබ කවුරු වුණත්, ඔබ කුමන දේ කළත්, තමන්ගේ සෞඛ්‍යය ගැනත් අසල්වාසීන් ගැනත් අවධානය යොමු කළ යුතු කාලයක් තිබෙනවා. ඒ වගේම ඒ නිසා ඔබේ රැකියාව අහිමි වෙන්නේ නැහැ. ඔබට ආහාර හෝ ඖෂධ සඳහා මුදල් නැති වෙන්නේත් නැහැ.‘‘ යැයි ජස්ටින් ටෘෘඩෝ මාධ්‍ය හමුවේ පැවසීය.

මේ වන විට කැනඩාව මෙන්ම ඇමරිකාව ද සිය රටේ පුරවැසියන් සඳහා මේ අසීරු සමයේ අතට මුදල් ලබාදෙන කඩිනම් වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

මේ යටතේ ඇමරිකානුවෙකුට අවම වශයෙන් ඩොලර් 1000 ක චෙක්පතක් ලැබීමට නියමිත ය. කැනේඩියානුවන් සඳහා ටෘෘඩෝ විසින් අනුමත කර ඇති හදිසි මූල්‍ය සහන පැකේජය ඇ. ඩොලර් බිලියන 56.4 කි.

ඒ පිළිබඳ පහතින්-

ගෙවල් කුලී ගැන – ආහාර පානවලට යන මුදල් ගැන වද වෙන්න එපා – අපි ඔබව බලාගන්නවා. ලංකාවෙ නෙවෙයි, කැනඩාවේ – කැනඩාවේ
සැමන් සහ පරිප්පු වෙනුවට ඇමරිකානුවන් අතටම කෑෂ් චෙක් – ඩොලර් බිලියන 25ක් රට වැසියන් අතර බෙදා දෙයි

මේ වන විට ඇමරිකාවේ සියලු ජනපදවලින් තහවුරු කළ කොරෝනා ආසාදිතයන් 6496 ක් වාර්තා වේ. මරණ ගණන 114 කි.

කැනඩාවේ තහවුරු කළ කොරෝනා ආසාදිතන් 598 ක් වාර්තා වන අතර, මරණ ගණන 108 කි. කැනඩාවේ ජනගහනය ඇමරිකාවේ ජනගහනයෙන් 1/9 කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි