×

සියයට 95 ක් සාර්ථක කෝවිඩ් වැක්සිනයක් ඇමරිකාවෙන් !

ඇමරිකාවේ මොඩර්නා සමාගම විසින් නිෂ්පාදනය කළ කෝවිඩ්-19 වැක්සීනය 95%ක් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව වාර්තා වේ.


මේ අනුව මෙය, මීට දින කිහිපයකට පෙර නිවේදනය වූ ෆයිසර් සමාගමේ වැක්සිනය තරම්ම හෝ ඊටත් වඩා ප්‍රතිඵලදායී බව ද සඳහන් ය.

මෙම සමාගම් දෙකම අතිශයින් නවෝත්පාදක සහ පර්යේෂණාත්මක ක්‍රම භාවිතයෙන් සිය නවතම සොයාගැනීම් සිදුකර තිබේ.

ඉදිරි සති කිහිපය ඇතුළත මෙය රෝගීන් සඳහා යොදාගැනීමට අනුමැතිය බලාපොරොත්තු වන බව මොඩර්නා සමාගම පවසයි.

තිස්දහසක් යොදාගෙන සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක්

මෙම වැක්සීනය අත්හදා බැලීම සඳහා ඇමරිකානුවන් 30,000 ක් දෙනා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී තිබේ. එයින් භාගයකට වැක්සිනයෙන් අර්ධයක් බැගින් ලබා දී ඇති අතර, සෙසු අයට ‘ඩමි ඉන්ජෙක්ෂන්‘ හෙවත් එන්නත් අනුරූපක ලබා දී තිබේ.

එවිට සැබෑ එන්නත ලබාදුන් අය අතරින් කෝවිඩ්-19 ආසාදනයන් සිදුවූයේ 5 දෙනෙකුට පමණි. නමුත් ඩමි එන්නත ලබාදුන් අයගෙන් 90 දෙනෙකුට රෝගය වැළඳිණි. ඒ අනුව මෙම එන්නත මගින් රෝගයෙන් ආරක්ෂා කිරීමේ ප්‍රතිශතය 94.5%ක් බව සමාගම පවසයි.

කාටද මුලින්ම?

මෙම එන්නත ලබාගත හැක්කේ කාටද, කවදාද යන්න රඳා පවතින්නේ ලෝකයේ ඔබ ජීවත් වන්නේ කුමන රටේද සහ, ඔබ කොතරම් වයස්ගත ද යන්න මත ය.

ඉදිරි සති කිහිපයේදී ඇමරිකාව තුළ එන්නත භාවිතය සඳහා අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින මෙම සමාගම, එහිදී එන්නත් මාත්‍රා මිලියන 20 ක් ඇමරිකාව සඳහා සූදානම් කරගෙන තිබේ.

ලොව පුරා එය බෙදා හැරෙනු ඇත්තේ ලබන වසරේ ය. ඒ සඳහා සමාගමට සෙසු රටවලින් ද අනුමැතිය ලැබිය යුතුය. උදාහරණයක් වශයෙන් එක්සත් රාජධානිය විසින් ඇණවුම් කර තිබෙන එන්නත් හය අතරට මොඩර්නා එන්නත ඇතුළත් නොවේ. ඒ අනුව මොඩර්නා කොවිඩ් එන්නත ඔවුන්ට ලබාගත හැකි වනු ඇත්තේ ලබන වසරේ වසන්ත සෘතුවෙන් ද පසුව ය. එහිදී ද වයස්ගත අයට එය මුලින් ලබාදීමට තීරණයක් ගෙන තිබෙන්නේ ඔවුන් අධි අවදානම් ප්‍රජාවක් වන හෙයිනි.

අතුරු ආබාධ?

සැලකිය යුතු අතුරු ආබාධ මෙම එන්නතෙන් වාර්තා නොවේ. නමුත් තාවකාලික විඩාබර ගතිය, හිසේ අමාරුව සහ මස්පිඬු වේදනාවක් ඇතැම් රෝගීන් විසින් පැමිණිලි කර ඇත.

ෆයිසර් එන්නතට සාපේක්ෂව

මෙම එන්නත නිපදවා තිබෙන්නේද ෆයිසර් සමාගමේ කෝවිඩ් එන්නත මෙන්ම වයිරසයේ ජාන කේත වලින් කොටසක් ලබාගැනීම මගිනි. එමගින් එම වෛරසයට එරෙහිව ශරීරය තුළ ප්‍රතිශක්තිය උත්තේජනය කරයි.

ෆයිසර් එන්නත 90%ක ආරක්ෂාවක් පෙන්වන විට මොඩර්නා එන්නත 95%ක ආරක්ෂාවක් පෙන්වා ඇත.

මේ අතර මොඩර්නා එන්නත, ෆයිසර් එන්නතට වඩා පහසුවෙන් ගබඩා කර තැබිය හැකිය. මොඩර්නා එන්නත සෙල්සියස් අංශක -20 උෂ්ණත්වයේදී වඩාත් ස්ථායි වේ. ඒ අනුව සාමාන්‍ය ශීතකරණයක් තුළ මාසයක් දක්වා කල් තබාගත හැකිය. මෙයට සාපේක්ෂව ෆයිසර් එන්නත සෙල්සියස් අංශක -75 දී ස්ථායි වන නිසා එය තබාගත හැක්කේ අධි ශීතකරණයේ ය. සාමාන්‍ය ශීතකරණයකදී නම් තබා ගත හැක්කේ දින 5 කි.

මේ අතර රුසියාව විසින් නිෂ්පාදිත Sputnik V වැක්සිනය සම්බන්ධයෙන් රුසියාව පවසා තිබෙන්නේ එයින් 92%ක ආරක්ෂාවක් ලැබෙන බව ය.

බයෝටෙක් සමාගම ද මේ වන විට වැක්සිනයක් නිපදවා ඇති බව ඔබ දන්නා කරුණකි.

ඒ අනුව පහත දැක්වෙන්නේ මොඩර්නා, ෆයිසර් සහ බයෝටෙක් සමාගම් විසින් නිපදවා ඇති කෝවිඩ් වැක්සින පිළිබඳ සන්සන්දනයකි.

වැක්සින 164 ක් පළවෙනියා වීමේ තරගයේ !

(Sky News)

මේ අතර ස්කයි පුවත් සේවාව, මේ වැක්සීන් තරගයේ ඉරණම ගැන අපූරු කාරණා කිහිපයක් අනාවරණය කරයි. ඒ අනුව,

✓ වැක්සින 164 ක් කෝවිඩ්-19 මර්දනය සඳහා නිපදවීම ආරම්භ වී ඇත.

✓ නමුත් පූර්ව සායනික අවධියේ පැවති මෙම වැක්සිනවලින් ආරක්ෂාව සහ මාත්‍රා සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කර තිබෙන්නේ වැක්සින 21 ක් පමණි.

✓ ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණයන් සමත් වී තිබෙන්නේ ඒ අතරින් 16 ක් පමණි.

✓ මහා පරිමාණයෙන් සඵලත්වය උරගා බැලෙන පරීක්ෂණවලට ලක් කර තිබෙන්නේ ඒ අතරින් ද වැක්සින 10 ක් පමණි.

✓ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසිනෙකා සමාගම එක්ව නිපදවන වැක්සිනය, මුලින්ම 3 වැනි අදියර සමත් වූ වැක්සිනයයි. නමුත් එයට තවමත් බලපත්‍රය ලැබී නැත.

✓ 3 වන අදියර පසු කරමින් රාජ්‍යය විසින් (අදාළ රටේ සෞඛ්‍ය බලධාරීන් විසින්) අනුමත කර තිබෙන්නේ තවමත් එක් වැක්සිනයක් පමණි. ඒ, රුසියාවේ ගමාලයා පර්යේෂණ ආයතනය විසින් නිපදවූ ස්පුට්නික් V වැක්සිනයයි.

නමුත් මෙහි ආරක්ෂිත බව ගැන රුසියාව හැරුණු විට ලෝකයේ බොහෝ රටවල් සැක පළ කරයි. ඒවා අත්‍යාවශ්‍ය පරීක්ෂාවන්ට පවා ලක් කර නොමැති බවට විශාල විවේචනයක් තිබේ.

✗ මේ සියල්ල අතරින් කිසිදු වැක්සිනයක් තවම මහජනයා වෙත ලබා දී නැත.

තරගයේ අවසානය

කෙසේ නමුත් මේ තරගයේ අවසානය විය යුත්තේ කෝවිඩ්-19 වසංගතය ලොවෙන් තුරන් කිරීම මිස එයට වඩා අඩු යමක් නොවේ. මුළු ලෝකයටම මෙම ප්‍රතිශක්තිකරණය ලබාදෙන්නේ නම් ලබන වසරේ ශීත සෘතුව හෝ වසන්ත සෘතුව වන විට කෝවිඩ්-19 වසංගතය අවසන් කළ හැකි වෙතැයි විද්‍යාඥයෝ කියති. නමුත් ලෝකයේ දිළිඳු රටවලට අනුමත කළ ආරක්ෂිත එන්නතක් එන්නේ කවදාද? මේ ගෝලීය ක්‍රියාවලිය අධීක්ෂණය වන්නේ කොතැනින්ද? ඒවා දැවැන්ත ගැටළු ය.

ලෝකය කෝවිඩ් එන්නත් නිපදවීමේ බිහිසුණු තරගයකට එළඹ ඇති බව මීට කලින් ද අප කිහිප වතාවක් කියා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අවධාරණය කළේ මේ සියලු තාක්ෂණයන් එක්තැන් කරමින් එක් ගෝලීය එන්නතක් වෙත සියලු දෙනාටම සම ප්‍රවේශයක් ලබාදිය යුතු බවයි. නමුත් තරගකාරී සමාගම් සහ රටවල් මේ බසට ඇහුම්කන් දෙන බවක් පෙනෙන්නට නැත. මේ වැක්සින තරගය හමුවේ ලංකාව වැනි දුප්පත් රටවල් ස්ථානගත වනු ඇත්තේ කොතැනද?

පෙර ලිපි

කොවිඩ් වැක්සින් තරගයේ දුවන රටවල් 172 ක් එකමුතු කරගෙන තනි ගෝලීය වැක්සිනයක් නිපදවීමේ වෑයමක්

Update: කොවිඩ් වැක්සින් තරගයේ දුවන රටවල් 172 ක් එකමුතු කරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ‘තනි ගෝලීය වැක්සිනයක්‘ නිපදවීමේ වෑයමක – COVAX

‘‘ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය‘‘ – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අලුත් යෙදුමක් – අලුත් අනතුරු ඇඟවීමක්!

‘ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය‘ – ‘‘Vaccine Nationalisation‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අලුත් යෙදුමක් – අලුත් අනතුරු ඇඟවීමක් !

Main Photo: GETTY IMAGES



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි