×

ඩොලර් නැතිව අඳුරේ සිටින කියුබාවට බයිඩන් සම්බාධක දමයි!

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, කියුබාවේ සිදුවන පොලිස් මර්දනයට විරෝධය පෑමක් වශයෙන් නව සම්බාධක පනවා තිබේ.


සිකුරාදා දිනයේ වඩාත් දැඩි සම්බාධක පැනවීමට ද ඔහු අදහස් කරයි.

කියුබාවේ ජන විරෝධය පොලිස් බලය යොදවා මැඬලීමට ප්‍රතිචාරයක් වශයෙන් මෙසේ සිදුකළ බව ධවල මන්දිරය සඳහන් කරයි.

මේ අනුව සම්බාධක අලුතෙන් පනවා තිබෙන්නේ කියුබාවේ ජාතික විප්ලවීය පොලිස් බල ඇණිය සහ එහි නායකයන් දෙදෙනෙකුට එරෙහිව ය. දහස් ගණන් දෙනා සහභාගි වූ ‘සාමකාමී සහ ප්‍රජාතාන්ත්‍රික උද්ඝෝෂණ‘වලට පහර දීම හේතුවෙන් මෙසේ කළ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජූලි 11 වැනිදා ආරම්භ වූ මෙම උද්ඝෝෂණ රැල්ල අතරවාරයේදී සිය ගණන් ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම උද්ඝෝෂණ ආරම්භ වූයේ විනිමය සංචිත නොමැති කම හේතුවෙන්, රටේ පුද්ගලික විදුලි සමාගම් දෙකක් විදුලි ජනනයෙන් ඉවත්වීමත් සමග, විදුලිය විසන්ධි වීම හේතුවෙනි.

FILE PHOTO: People react during protests against and in support of the government, amidst the coronavirus disease (COVID-19) outbreak, in Havana, Cuba July 11, 2021. REUTERS/Stringer NO RESALES. NO ARCHIVES/File Photo

පසුගිය සතියේ බයිඩන්, කියුබාවේ ආරක්ෂක අමාත්‍යාංශයට මෙන්ම විශේෂ බලකායන්ට ද සම්බාධක පැනවීය. විරෝධතාවලදී මානව හිමිකම් උල්ලංඝනය කරන බවට එහිදී චෝදනා නගා තිබිණි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාව සම්බන්ධයෙන් සතුරුකාරී ස්ථාවරයක සිටි බව නොරහසකි. ඒ අනුව එයට පෙර සිටි ජනපති බරාක් ඔබාමා විසින්, කියුබාවේ සමාජවාදී ආණ්ඩුව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ඇති කර ගැනීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වී ගියේය.

බොහෝ අය බලාපොරොත්තු වූයේ බයිඩන්, ඔබාමා ගත් මග ගනු ඇති කියායි. තවද ට්‍රම්ප් පාලනයේ කියුබානු ප්‍රතිපත්තිය සමාලෝචනයකට ලක් කිරීම ද ඔහු විසින් කරනු ඇතැයි අපේක්ෂා කෙරිණි. නමුත් මේ වන විට පෙනී යන්නේ බයිඩන් ද, කියුබාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ස්ථාවරය ම ගෙන ඇති බවයි.

එයට හේතු ලෙස විචාරකයන් පෙන්වා දෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ ජීවත් වන මිලියන 1.5 ක් වන, කියුබානු-ඇමරිකානු සම්භවයක් සහිත ඡන්ද දායකයන් ය.

ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබුණේ බහුතර වශයෙන් ට්‍රම්ප් හට ය. මේ අනුව, මීලඟ මැතිවරණයේදී බයිඩන්, ඔවුන්ගේ සහයෝගය සහ හොඳ හිත දිනාගැනීම සඳහා දැන් සිටම වැඩ පටන් ගෙන ඇතැයි විවේචනයක් ද වේ.

කියුබාවේ මේ වන විට වසර 30 ක ඉතිහාසයේ දරුණුම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මාලාව ආරම්භ වී ඇත. ජූලි 11 වැනිදා පටන් අන්තර්ජාල පහසුකම් කපා දැමීමත් සමග මෙම ජන විරෝධය උත්සන්න විය. ෆ්ලොරිඩා ජනපදයේ ජීවත් වන කියුබානු ඇමරිකානුවන් විසින් බයිඩන්ගෙන්, මෙම අන්තර්ජාල ගැටළුව විසඳීමට මැදිහත් වන ලෙස ඉල්ලීමක් ද කර තිබේ.

උග්‍ර ආහාර හිඟයක්

දැඩි සමාජවාදී පාලනයක් පවතින කියුබාවේ විදේශ මුදල් නොමැති තරම් ය. එය, උද්ධමනය තුළ ඔවුන්ට අවශ්‍ය කරන ආහාර, ඖෂධ හෝ ඉන්ධන ආනයනය කිරීමට ද බාධාවක් ව තිබේ. කියුබානු වෙළඳපොළේ මූලික ආහාර පාන පවා හිඟව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. සෝවියට් සංගමය 1990 දශකයේ බිඳ වැටීමෙන් පසුව, කියුබාව මෙතරම් දැඩි විදුලි අර්බුදයකට මුහුණ දෙන්නේ ප්‍රථම වතාවට ය.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි