×

එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන දිනය අදයි.

මධ්‍යවාර මැතිවරණය ජයග්‍රහණය කිරීම මත ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩ කටයුතු තීරණය වනු ඇත.


මෙම මැතිවරණ කොන්ග්‍රසය සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වේ. මෙම ඡන්ද සෑම වසර දෙකකට වරක් පවත්වනු ලබන අතර, ජනාධිපතිවරයාගේ වසර හතරක නිල කාලයෙන් වසර දෙකක් ගිය තැන පවත්වන බැවින් එය මධ්‍යවාර මැතිවරණය ලෙස හැඳින් වේ.

කොංග්‍රසය මඟින් නීති සම්පාදනය කරනු ලබයි. සෙනෙට් සභාව විසින් කොංග්‍රසය පනවන නීති අනුමත කිරීම හෝ නිශේධනය කිරීම කරනු ලබයි. එමෙන්ම ජනාධිපතිවරයාගේ පත් කිරීම් තහවුරු කිරීමට සහ, වඩාත් කලාතුරකින්, ඔහුට එරෙහිව කිසියම් විමර්ශනයක් කිරීමට සෙනෙට් සභාවට බලතල ඇත.

සෑම ප්‍රාන්තයකටම සෙනෙට් සභිකයින් දෙදෙනෙකු සිටින අතර, ඔවුන් වසර හයක ධුර කාලයක් සඳහා තෝරාපත් කර ගනියි. නියෝජිතයින් වසර දෙකක කාලයක් සේවය කරන අතර කුඩා දිස්ත්‍රික්ක නියෝජනය කරයි. සෙනෙට් සභාවෙන් තුනෙන් එකක් සමඟින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සියලුම ආසන අද දිනයේ ඡන්දය සඳහා ඉදිරිපත් වේ.

අද වන තෙක් සමස්ත කොංග්‍රසයේම බලය බයිඩන් සතු වූ අතර ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එහි ආධිපත්‍ය දැරීය. නමුත් මෙවර පවතින්නේ තියුණු තරඟයකි. මෙවර පෙන්සිල්වේනියා, කැලිෆෝනියා, ඔහියෝ සහ උතුරු කැරොලිනා, නෙවාඩා, ඇරිසෝනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියාවේ වැදගත් ඡන්ද මුරපලවල් බවට පත්ව ඇත.

කෙසේ නමුත් මධ්‍යවාර මැතිවරණය ජයග්‍රහණය කිරීම මත ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩ කටයුතු තීරණය වනු ඇත.

මේ වන විට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ගබ්සා කිරීමට කාන්තාවට තිබූ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය තහනම් කර ඇති අතර, උද්ධමනය, සංක්‍රමණ සහ ප්‍රචණ්ඩකාරී අපරාධ පිළිබඳ ජනතාව කනස්සල්ලෙන් සිටින පරිසරයක මෙවර මැතිවරණය පැවැත්වීම බොහෝ විට බයිඩන්ට අහිතකර තත්වයක් ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. පසුගිය අගෝස්තුවේ සිට කරන ලද අහඹු ජනමත විවරණ මඟින් ඩිමොක්‍රටිස් පාක්ෂිකයන්ට ඇති ජනතා ප්‍රසාදය 50%වඩා අඩුවීම බයිඩන්ගේ කනස්සල්ලට හේතු වී ඇති බව වාර්තා වේ.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින් රැඳී සිටියහොත්, දේශගුණික විපර්යාස පිළිබඳ ඔහුගේ සැලසුම් සමඟ ඉදිරියට යාමට, රජය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය සේවා වැඩසටහන් පුළුල් කිරීමට, ගබ්සා කිරීමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ තුවක්කු පාලනය දැඩි කිරීමට ජනාධිපති බිඩෙන්ට හැකි වනු ඇත.

රිපබ්ලිකානුවන් කුමන හෝ සභා ගර්භයක පාලනය ලබා ගන්නේ නම් ඔවුන්ට විමර්ශන කමිටු පාලනය කිරීමට ද හැකි වනු ඇත. 2021 ජනවාරි 6 වන දින එක්සත් ජනපද කැපිටල් වෙත එල්ල කළ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය අවසන් කළ හැකිය. එමෙන්ම එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළුව නව පත්වීම් කිරීමට බයිඩන්ට ඇති ඉඩ කඩ සීමා සහිතවනු ඇත. රිපබ්ලිකන් ආධිපත්‍යය ඔහුගේ විදේශ ප්‍රතිපත්තියේ එන යුක්රේන රුසියා ගැටුම වෙනුවෙන්ද බාධාවක් වනු ඇත. තත්වය මෙසේය.

එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය 2024 මීළඟ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් ඉඟියක් ලබාදෙනු ඇත.

දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ ෆ්ලොරිඩාවේ සහ ටෙක්සාස්හි, රිපබ්ලිකන් ආණ්ඩුකාරවරුන් වන රොන් ඩිසැන්ටිස් සහ ග්‍රෙග් ඇබට් නැවත තේරී පත්වුවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් සුභවාදී බලාපොරොත්තු තැබිය හැකි බවයි. එමෙන්ම ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් මිචිගන්, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියාවේ බලය තහවුරුකර ගත හැකි නම් නම් බයිඩන්ගේ කලදසාව හොඳ වනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි