×

ලෙබනනයට ගොඩයාමක් තියේවි ද?

කාර්‍යක්ෂම රජයක් පිහිටුවන්න, පොම්පියෝ ලෙබනනයට උපදෙස් දෙයි.


ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (29) දින ලෙබනන දේශපාලන නායකයින් අමතා වඩාත් කාර්‍යක්ෂම රජයක් පිහිටුවීමේ වැදගත්කම පහදා දී තිබේ.

ඒ, එරට අග්‍රාමාත්‍ය සාද් අල්-හරිරි තම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ය.

ලෙබනනය තුළ පැවති දේශපාලනික අස්ථාවරභාවය හා දූෂිත පාලන තන්ත්‍රය තුළ එරට දහස් සංඛ්‍යාත වැසියෝ වීදි බැස විරෝධතාවන් හි නිරත වූ අතර, හිනිපෙත්තට පනවා ඇති බදු කන්ද ඉවත් කොට ආර්ථික ප්‍රතිසංස්කරණ ලබා දෙන මෙන් ඉල්ලා සිටියහ. මෙම විරෝධතා එරට අග්‍රාමාත්‍යවරයා හට තම ධූරයෙන් ඉල්ලා අස්වන තැනට පත් විය.

ලෙබනනයේ පවතින ආර්ථික කඩාවැටීම අනේකවිධ බදුබරින් පීඩා විඳින ජනයා ගේ කෝපය සාධාරණ හා ඊට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බවට ජාත්‍යන්තර ප්‍රජාව පවා පෙන්වා දී තිබිණි. එමෙන්ම, ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී විරෝධතාවයක් උදෙසා ලෙබනන වැසියන් හට පෙළගැසීම සඳහා ඇති අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බවට පසුගිය දිනක ඇමරිකානු රජය ද ප්‍රකාශ කොට තිබිණි. එමෙන්ම එකී ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකරලීම සඳහා තම සහය පළ කිරීමට ද ඇමරිකාව කැමැත්ත පළ කර තිබිණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වී තිබිණි:

“පසුගිය දින 13 තුළ සාමකාමී ලෙස පෙලපාලි යාම තුළින් ජාතික සමගිය ප්‍රකාශ කිරීම පැහැදිලි පණිවිඩයක් ලබා දී තිබේ. ලෙබනන් ජනතාවට අවශ්‍ය වන්නේ කාර්යක්ෂම හා ඵලදායි රජයක් හා දූෂණයෙන් තොර ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකි.”

ලෙබනනය යනු දැනට ලොව පවතින කඩා වැටුණු ආර්ථිකයන් ගෙන් ප්‍රමුඛ ස්ථානයේ පවතින රාජ්‍යයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි