×

කෙනඩි ඝාතනයේ රහස් ලිපිගොනු එළියට!

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයට අදාළ රහස් ලිපිගොනු 1,500 කට අධික සංඛ්‍යාවක් ඊයේ දිනයේ මහජනයා වෙත විවෘත කරනු ලැබීය.


ඒ, ඇමරිකානු ජාතික ලේඛනාරක්ෂණාගාරය විසිනි.

ෆෙඩරල් නීතියකට සමගාමීව නිදහස් කෙරුණු මේ ලිපිගොනුවලින්, කෙනඩි ඝාතනයේ සැකය සෝවියට් සංගමය, කියුබාව සහ ඉතාලියානු මාෆියාව වෙත යොමුව තිබූ ආකාරය සනාථ වේ.

එදා 1964

එදා 1964 වසරේදී කෙනඩි ඝාතන විමර්ශනය සඳහාම පත් කළ වොරන් කොමිසම (Warren Commission) නිගමනය කළේ ජනාධිපතිවරයා ව ඝාතනය කළේ හුදෙකලා තුවක්කුකරුවෙකු වන ලී හාවි ඔස්වර්ල්ඩ් (Lee Harvey Oswald) විසින් බවයි. ඝාතනය සිදු වූයේ 1963 නොවැම්බර් 22 වැනිදා ය.

සිය ආර්යාව වූ ජැකලීන් සමග ටෙක්සාස් ජනපදයේ ඩැලාස් හි වීදි දිගේ විවෘත ලිමොසින් රථයක ඇදී යමින් සිටියදී ලී හාවි ඔස්වර්ල්ඩ් සිය ඉලක්කය ගෙන තිබුණේ තනිවම ය.

කෙසේ නමුත් කෙනඩි ඝාතනය කුමන්ත්‍රණයක් බව ඇමරිකානුවන්ගෙන් බොහෝ දෙනා ද සිතූ බව ඒ කාලයේ පැවති ජනමත විමසුම්වලින් හෙළි විය. ජාත්‍යන්තර කුමන්ත්‍රණය කවදත් ලෝකයේ ජනප්‍රිය මාතෘකාවකි. අවම වශයෙන් ලී හාවි ඔස්වර්ල්ඩ් හට කියුබාවේ සහාය ලැබෙන්නට ඇතැයි සැක කෙරිණි. මෙම ඝාතනය සිදුව තිබුණේ ද ඇමරිකාව සමග කියුබාවේ මිසයිල අර්බුදය හටගෙන හරියටම වසරකට පසුව ය.

කෙනඩි ව මරා දැමුවේ කියුබානු විරෝධී ක්‍රියාකාරීන් විසින් බවට තවත් කුමන්ත්‍රණ මතයකින් කියැවුණි. ඒ සදහා ඇතැම්විට ඇමරිකානු බුද්ධි අංශවල සහ මධ්‍යම රහස් ඔත්තු සේවයේ හෙවත් FBI හි සහාය ද ලැබෙන්නට ඇති බව කියැවිණි.

ෆයිල්වලින් කියන්නේ කුමක්ද?

කෙනඩිගේ ඝාතනය සම්බන්ධයෙන් එසැණ පුවත් වර්ගයේ තොරතුරු කිසිවක් මෙම ලිපිගොනුවලින් දැනට හෙළි වී නැත. කෙසේ වෙතත්, 1960 දශකයේ ලෝකයේ පැවති කුමන්ත්‍රණකාරී මතයන් සිතියම් ගත කර තිබූ ආකාරය සහ ඉලක්ක සුපරික්ෂාවට හසු කිරීමට ඔවුන් විසින් යොදාගත් ක්‍රම වේදයන් පිළිබඳ දැන ගැනීම වැනි දේ සඳහා ඔවුන් තුළ විශාල උනන්දුවක් ඇති බව පෙනිණි.

ලිපිගොනු සංඛ්‍යාව හරියටම 1,491 කි. ඒවායින් බොහොමයක් සවිස්තරාත්මක ලිපිගොනු ය. ඝාතක ලී හාවි ඔස්වර්ල්ඩ් සම්බන්ධයෙන් මෑතකදී හමුවූ, එනමුත් කිසිදා සනාථ කළ නොහැකි වූ තොරතුරු පිළිබඳ සාකච්ඡා කරන CIA කේබල් පණිවුඩ සහ මැමෝපත් මේ අතර වේ. ඒවායින් කියැවෙන්නේ ලී හාවි ඔස්වර්ල්ඩ් මෙක්සිකෝවේ පිහිටි සෝවියට් හා කියුබානු තානාපති කාර්යාල වෙත ගිය ගමන් ගැන ය.

ඝාතනය සිදුවූ වහාම ඇමරිකානු බුද්ධි අංශ සැක කළ කියුබානු සම්බන්ධය ගැන ද සවිස්තර ඒවායෙහි අඩංගු ය.

ෆිදෙල් ඝාතන කුමන්ත්‍රණයක් ඒ අතර!

‘රහස් ඇස්වලට පමණයි’ “Secret Eyes Only” යනුවෙන් ලකුණු කර ඇති එක් CIA ලේඛනයක දැක්වෙන්නේ ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා ඇමරිකාව විසින් සලකා බැලූ උපක්‍රමයන් ගැන ය. ‘කියුබාවේ අභ්‍යන්තරය සමග සම්බන්ධතා තිබෙන පාතාලය’ එයට යොදා ගැනීමට 1960 වසරේදී ඇමරිකාව උත්සාහ කළ ආකාරය ද ඒවායේ දැක්වේ.

මෙය කුමන්ත්‍රණයක් බවට මත පළ කළ එවකට සිටි මාෆියා ලොක්කන් වූ සැන්ටෝ ට්‍රැෆිකන්ටේ ජූනියර් හා සෑම් ගියාන්කානා වැනි අය පිළිබඳ ව පැවති විමර්ශන හා ඔත්තු බැලීම් ගැන ද ඒවායේ තොරතුරු ඇත.

රහස් ලිපිගොනු නිදහස් කළ හැටි

1992 වසරේ සම්මත කර ගත් තොරතුරු නිදහස පිළිබඳ ඇමරිකානු නීතියට අනුව, කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින තොරතුරු 2017 ඔක්තෝබර් මස වන විට මහජනයාට දැනගත හැකි වන පරිදි නිදහස් කළ යුතු විය.

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට ඒ අනුව අදාළ තොරතුරු සහිත ලේඛන 53,000 ක් අතරින් 88%ක්ම ‘ඩීක්ලැසිෆයිඩ්’ හෙවත් අනාවරණය කළ හැකි තොරතුරු ලෙස නම් කිරීමට සිදු විය.

නමුත් ‘ජාතික ආරක්ෂාව’ ව්‍යාතිරේඛය යටතේ ට්‍රම්ප් තවත් ලේඛන දහස් ගණනක් මහජනතාවගෙන් වසං කිරීමේ කාර්යයේ නිරත විය.

ජනපති ජෝ බයිඩන් ද නීතියට ගරු කරන බව පවසමින් බලයට පැමිණියත්, ඔක්තෝබරයේ සිට මේ දක්වාම මෙම රහස් ලේඛන නිකුත්කිරීමෙන් වැළකී සිටියේය.

ඒ අවස්ථාවේදී ඔහු කීවේ, මේ ප්‍රමාදය සිදුකරන්නේ ‘හමුදා ආරක්ෂක අංශ, බුද්ධි අංශ මෙහෙයුම්, නීති සාධන ආයතන හෝ විදේශ සම්බන්ධතාවලට මෙම ලේඛන හානිදායක විය හැකි බව කියමිනි.

නමුත් ඇමරිකානු ලේඛනාරක්ෂණාගාරය අවසානයේ මහජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්ෂිත කරමින් නීතියට හිස නමන්නට තීරණය කර තිබේ.

ලබන වසරේදී කෙනඩි ඝාතනය සම්බන්ධ තවත් අතිරේඛ ලේඛන ගණණාවක් ද එළි දැකීමට නියමිත ය.

 

 

පෙර ලිපි

‘‘ඔහු විඳෙව්වා ඇති!‘‘ රොබට් එෆ්. කෙනඩි ඝාතකයාට, කෙනඩි පුතුන් දෙදෙනාගෙන් 16 වන වතාවේදී සමාව!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි