×

ඇමරිකානු, රුසියානු ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡා: යුක්රේන යුද්ධයේ නිමාවක් ඇත්තේම නැතිද?

යුක්රේන - රුසියානු යුද්ධය ගෝලීය වශයෙන් අර්බුදයන් ගණනාවකටම මුල පිරීය..


එක්සත් ජනපද ආරක්ෂක ලේකම් සහ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා අතර ඊයේ (21) දින සාකච්ඡාවක් පැවැත්වී ඇති බව පෙන්ටගනය තහවුරු කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් අතර පැවති මෙම දුරකතන සංවාදයේදී ජාත්‍යන්තර ආරක්ෂාව සහ යුක්රේනයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු සාකච්ඡා කර ඇති බව සඳහන්.

යුක්රේනයේ යුධ තත්ත්වය හමුවේ පාර්ශවයන් අතර සන්නිවේදනයක් පවත්වා ගැනීමේ වැදගත්කම එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඔස්ටින් විසින් එහිදී අවධාරණය කර ඇති බවයි පෙන්ටගනය සිය නිවේදනය ඔස්සේ ප්‍රකාශ කරන්නේ.

මෙම දුරකතන සංවාදය පැවැත්වූ බවට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය වෙත තහවුරු කර ඇති මුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර නැති බවයි වාර්තා වන්නේ.

මීට ඉහත මැයි මාසයේදී ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී හැකි ඉක්මනින් යුක්රේන – රුසියානු අර්බුදයට අදාළව සටන්විරාමයක් ඇතිකර ගැනීමේ වැදගත්කම ඔස්ටින් පැහැදිලි කර තිබේ.

ඊට යහපත් ප්‍රතිචාරයක් මොස්කව් විසින් ලබා නොදී ඇති අතර, යුධ තත්ත්වය දිගටම ක්‍රියාත්මක වීම සිදුවිය. එකී පසුබිම තුළ ඩොලර් බිලියන ගණනින් වූ යුධ ආධාර යුක්රේනයට සැපයීමට එක්සත් ජනපදය උත්සුක විය.

රුසියානු ආක්‍රමණයෙන් යුක්රේන නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ නැවත මුදවා ගැනීමට යුක්රේන යුධඛණ්ඩ මේ වන විට සමත් වී ඇති අතර, එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් කොංග්‍රසයට ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට ලබා දෙන ආධාර දිගුකාලීන වශයෙන් දිගටම ලබා දීමට තම රජය අපේක්ෂා කරන බවයි.

යුක්රේන – රුසියානු යුද්ධයේදී අහිමිවන මිනිස් ජීවිතවලට අමතරව, ගෝලීය වශයෙන් එය පැතිකඩයන් ගණනාවකටම ප්‍රභල බලපෑමක් එල්ලකිරීමට සමත් විය. ආර්ථික කඩාවැටීම, බලශක්ති අර්බුදය, ආහාර හිඟය මෙහි ප්‍රතිඵල විය.

එවන් පසුබිමක් තුළ මෙම යුද්ධය දිගටම පවත්වා ගෙන යාම සඳහා (අගතියට පත්වූ පාර්ශවය කුමක් වූව ද) එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් බටහිර බලවතුන් ඩොලර් බිලියන ගණනින් වැය කිරීමට කටයුතු කිරීම සැබවින්ම ප්‍රශ්නාර්ථයකි.

ඡායාරූප: Rod LAMKEY Sputnik/AFP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි