×

ලෙබනන අරගලයට ඇමරිකාවේ සහය!

ලෙබනන ජනතාවගේ කෝපය සාධාරණයි, වොෂිංටනය පවසයි.


ලෙබනනයේ සිදුවන දූෂණය පිටුදැකීමේ අරමුණින් හා රජයට විරෝධය පාමින් දහස් සංඛ්‍යාත ජනයා වීදි බැස විරෝධතා දියත් කළ ආකාරය පසුගිය දිනවල දක්නට ලැබිණි. 

ලෙබනන ජනතාව ගේ කෝපය අතිශයින් සාධාරණ බවත් එම විරෝධය සාමකාමී අන්දමින් නිරූපණය කිරීමේ ඇති අයිතියට වොෂිංටනයේ සහය හිමිවන බවත් ඇමරිකා එක්සත් ජනපදය පවසා තිබේ. 

පසුගිය බදාදා (23) දින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මේ බව පවසා සිටියේය. 

මෙකී විරෝධතා තුළ ලෙබනනයේ පෙර නොවූ විරූ ආකාරයේ පාගමන් හා උද්ඝෝෂණ දක්නට ලැබුණු අතර, ප්‍රචණ්ඩකාරී හැසිරීම් පවා වාර්තා වී තිබිණි. ලෙබනනය යනු ලොව පවතින කඩා වැටුණුම ආර්ථිකයක් සහිත රටවල් වලින් එකක් බව කියවේ.

ඉහත කී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා පවසා තිබෙන්නේ ලෙබනනයේ ජනතාව පසුවන්නේ කලකිරීමෙන් බවත්, එම කලකිරීම තුළ අතිමහත් ජනතාවක් වීදි බැස තම විරෝධතාවය පෑමට පෙළඹ ඇති බවත් ය. ලෙබනනයේ පවතින කඩා වැටුණු ආර්ථිකය ප්‍රතිසංස්කරණය කොට දූෂණය මුලිනුපුටා දැමීම සඳහා එකී ජනතාව බලාපොරොත්තුවෙන් පසුවන අතර, ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහය පළ කිරීමට සූදානම් බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරීයා වැඩිදුරටත් පවසා තිබේ. 

ලෙබනනයේ මෙම ආර්ථික පසුබැස්ම අළුත් පුවතක් නොවන බවත්, බොහෝ කලක පටන් මන්දගාමී ස්වරූපයෙන් පැමිණ, මේ වන විට මෙම තත්ත්වය උත්සන්න වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දී තිබේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි