×

ලොව පුරා වැක්සින් හිඟයක් පවතිද්දී ඇමරිකාව, කෝවිඩ් වැක්සින් මිලියන ගණනක් විසි කර දමයි!

ලෝකය තවමත් වැක්සින්කරණය සමග පොර බදමින් සිටින අතරවාරයේ ඇමරිකාව විසින් වැක්සින් මාත්‍රා මිලියන ගණනක් විසි කර දමා ඇත.


ඒ, ඒවා කල් ඉකුත් වී යාමත් සමග ය.

මේ අනුව මාර්තු සහ සැප්තැම්බර් අතර කාලයේදී කෝවිඩ් වැක්සින් මාත්‍රා මිලියන 15 ක් පමණ ඉවත දමා ඇති බව ඇමරිකානු රෝග නිවාරණ මධ්‍යස්ථානයේ (CDC) නිල දත්තවලින් හෙළි වේ. තවත් විමර්ශනයකින් හෙළි වී තිබෙන්නේ දෙසැම්බර් සහ ජූලි කාලය තුළ ජනපද 10 කදී කල් ඉකුත් වූ වැක්සින් මාත්‍රා මිලියනයක් විසි කර දමා තිබෙන බවයි.

මේ වන විට විස්කොන්සින් ජනපදයට ගෙන ගිය, නමුත් භාවිතා නොකර කල් ඉකුත් වූ වැක්සින් මාත්‍රා දහස් ගණනක් දිනකට විසි කර දමමින් තිබේ.

මේ අනුව, පමණට වඩා වැක්සින් මාත්‍රා පොදි බැඳගත් ඇමරිකාව, දිනකට දහස් ගණනින් ඒවා අපතේ යවමින් සිටියි.

ලොව පුරා වැක්සින් හිඟයක්

කෙසේ නමුත් බාහිර ලෝකය තුළ තවමත් දැඩි වැක්සින් හිඟයක් පවතියි. මිලියන ගණනක ලෝක ජනතාවක් තවමත් පළමු වැක්සින් මාත්‍රාව හෝ ලබාගෙන නැත.

ජූලි මාසය වන විට ලෝකයේ අඩු ආදායම් ලාභී රටවලින් පළමු වැක්සින් මාත්‍රාව ලබාගැනීමට සමත් වී තිබුණේ ජනගහනයෙන් 1%ක ප්‍රමාණයක් පමණි. නමුත් ඉහළ ආදායම් රටවල මේ ප්‍රමාණය ඒ වන විට 50%ද ඉක්මවා ගොස් තිබිණි.

ඇමරිකාවේ වැක්සින් ගොඩ ගසාගෙන සිට පසුව ඒවා විසි කර දැමීමට කටයුතු කළ ෆාමසි ජාලයන් කිහිපයක් ගැන ද වාර්තා වේ. මේ අනුව Walgreens, CVS, Walmart සහ Rite Aid ෆාමසි ජාල විසින් මේ වන විට වැක්සින් මාත්‍රා මිලියන 7.6 ක් පමණ විසි කර දමා තිබේ.

මෙසේ වැක්සින් විසි කිරීමට බලපාන හේතු ලෙස සඳහන් වන්නේ,

  • ඇතැම් එන්නත්වල පවතින දෝෂ (එන්නත් බෝතල් පළුදු වී තිබීම ඇතුළත්ව)
  • එන්නත් කටුවේ පැවති දෝෂයන්
  • ශීතකරණ පහසුකම්වල පැවති ගැටළු හෝ විදුලිය විසන්ධිවීම්වල බලපෑම
  • එන්නත් ලබාගැනීමට පැමිණෙන බවට පොරොන්දු වී නොපැමිණෙන්නන් වෙනුවෙන් වෙන් කළ මාත්‍රා

යනාදියයි.

කෙසේ නමුත් මීට පෙර අප විසින් පළ කළ ලිපියකින් පෙන්වා දුන් පරිදි, ඇමරිකාව වසංගතය ආරම්භයේදී සෑම වර්ගයකම වැක්සින්, තමන්ගේ අවශ්‍යතාවයටත් වඩා වැඩිපුර ගොඩ ගසා ගැනීමක් ද සිදුකර තිබේ.

ඇමරිකාවේ වැඩිපුර තිබෙන වැක්සින් දුප්පත් රටවලට පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළ ද ප්‍රායෝගික නොවන බව සනාථ වෙමින් පවතින්නේ ජනපදවලට ඒවා ගෙන ගිය පසුව නිදහස් කර ගැනීමේ නීතිවල පවතින ගැටළු නිසා ය.

මේ අනුව, ලබන වසර වන විට ගෝලීය ජනගහනයෙන් 70%ක් පූර්ණ එන්නත් කරණයට ලක් කිරීමට ඇපකැප වන්නේ යැයි ඇමරිකානු ජනපති ජෝ බයිඩන් විසින් දුන් පොරොන්දුව ද කෙමෙන් පුස්සක් බවට පත් වෙමින් තිබේ.

පෙර ලිපිය

ධනවත් රටවල කෝවිඩ් එන්නත් මිලියන 250 ක අතිරික්තයක් – අන්තිමේදී විසි කරන්න වේවිද..?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි