×

චීනයෙන් පැමිණෙන අමුත්තන් සඳහා එක්සත් ජනපදයේ කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කරයි.

මේ හා සමඟ ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාව ද දැඩි පියවර ගෙන ඇත.


චීනයේ අතිශය සීඝ්‍රයෙන් Covid-19 ව්‍යප්ත වීමත්, රජය විසින් ජනවාරි 8වන දා සිට සංචාරක සීමාවන් ඉවත් කිරීමත් සමඟ, චීනයෙන් පැමිනෙන අමුත්තන් වෙනුවෙන් අනිවාර්ය Covid පරීක්ෂණ පනවන නවතම රට එක්සත් ජනපදය බවට පත්ව ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදයේ රජය නිල වශයෙන් නිවේදනය කර තිබුණේ, වෙනත් සංචාරකයින් සඳහා පරීක්ෂණ හෝ වෙනත් ප්‍රවේශ අවශ්‍යතා නැවත හඳුන්වා දීමට සැලසුම් කර නොමැති මුත්, ජනවාරි 5 වනදා සිට චීනය, හොංකොං සහ මැකාවු සිට පැමිණෙන සියලුම මගීන්ට රට තුළට ඇතුළු වීමට නම් සෘණ කොවිඩ් පරීක්ෂණයක් අවශ්‍ය වන බවයි.

එක්සත් ජනපද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, ගුවන් මගීන් පිටත්වීමට දින දෙකකට පෙර කොවිඩ් පරීක්ෂණයක් කළ යුතු බවත්, ගුවන් ගමනට දින 10 කට පෙර ධනාත්මක බව පරීක්‍ෂා කළ අයට කොවිඩ් වලින් සුවය ලැබීමේ ලියකියවිලි සැපයිය හැකි බවත්ය. එක්සත් ජනපදය හරහා වෙනත් ගමනාන්ත වෙත සම්බන්ධක ගුවන් ගමන් ගන්නා මගීන්ට මෙම පියවර අදාළ වන බව එහි සඳහන් වේ.

ප්‍රමාණවත් සහ විනිවිද පෙනෙන කොවිඩ් දත්ත සැපයීමට චීනය අපොහොසත් වී ඇති අතර නිල නොවන වාර්තාවන් පවසන්නේ රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතින බවත්, වැඩිහිටි පුද්ගලයන්බොහෝමයක් මිය යමින් සිටින බවත්ය.

මේ හා සමඟ ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාව ද දැඩි පියවර ගෙන ඇත.

වරක් වෛරසයේ ගෝලීය කේන්ද්‍රස්ථානය වූ ඉතාලිය 2019 සිටම චීනයේ සිට පැමිණෙන සියලුම මගීන් සඳහා අනිවාර්ය කොවිඩ් පරීක්ෂණ පැවැත්වූ රටක් බවට පත්ව තිබිණ. නවතම තත්වය සම්බන්ධයෙන් ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර තිබුණේ නව ප්‍රභේදයක් පිළිබඳ නිරීක්ෂණ සහ හඳුනා ගැනීමටත්, සිය ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවැනි පියවරක් අනුගමනය කරන බවයි. ඒ අනුව දෙසැම්බර් 26 වන දින නගරයේ මල්පෙන්සා ගුවන් තොටුපළට ගොඩ බැස්ස එක් ගුවන් යානයක, මගීන්ගෙන් 52% ක් Covid සඳහා ධනාත්මක බව සොයා ගන්නා ලදී.


ජපානයේද පසුගිය සිකුරාදා දින සිට චීනයේ සිට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා කොවිඩ් සෘණාත්මක පරීක්ෂණය අනිවාර්ය අංගයක් වන බව අගමැති ෆුමියෝ කිෂිඩා දැනුම් දී ඇත. ධනාත්මක බව පරීක්‍ෂා කරන අයට රෝග ලක්ෂණ ඇත්නම් දින හතක් හෝ රෝග ලක්ෂණ නොමැති නම් දින පහක් නිරෝධායනය කිරීමට අවශ්‍ය වේ. මීට අමතරව ජපානය විසින් චීනයට සහ ඉන් පිටතට යන ගුවන් ගමන් සංඛ්‍යාව ද සීමා කර ඇත.


ඉන්දියාවට පැමිණීමේ දී ද චීනයෙන් සහ තවත් ආසියානු රටවල් හතරකින් පැමිණෙන පුද්ගලයින් පැමිණීමට පෙර සෘණ කොවිඩ් පරීක්ෂණයක් ඉදිරිපත් කළ යුතුය. ඔවුන්ට රෝග ලක්ෂණ වැළඳී ඇත්නම් නිරෝධායනයට යොමු කරනු ලැබේ.


තායිවානයද නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ චීනයේ සිට ගුවන් ගමන් වලින් මෙන්ම දූපත් දෙකකට බෝට්ටුවකින් පැමිණෙන පුද්ගලයින්ට ජනවාරි 1 සිට ජනවාරි 31 දක්වා පැමිණීමේදී කොවිඩ් පරීක්ෂණ සිදු කළ යුතු බවයි.


ඕස්ට්‍රේලියා අගමැතිවරයා මේ සම්බන්දයෙන් වෙනස් ප්‍රතිචායක් දක්වා ඇති අතර ඔහු ප්‍රකාශ කර තිබුණේ චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා එහි සංචාරක රෙගුලාසි වල කිසිදු වෙනසක් සිදු නොවන බවත්, ඕස්ට්‍රේලියාව චීනයේ සහ ලොව පුරා තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි