×

බ්‍රිතාන්‍යය හා ඇමරිකාව අතර වම-දකුණ ගැටුමක්!

ට්‍රම්ප් ගේ අරමුණ බෝජෝ ට දෙවන ධූරකාලයක් ආරක්ෂා කර දීම බව කෝබින් පවසයි.


පසුගිය බ්‍රහස්පතින්දා (31) දින ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එළඹෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් වාමාංශික කම්කරු පක්ෂ නායක ජෙරබි කෝබින් මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත්වුවහොත් එය ඉතාම අයහපත් තත්ත්වයක් වනු ඇති බවට ප්‍රකාශ කර සිටියේය.

බ්‍රෙක්සිට් පාර්ශවයේ ප්‍රධානී නයිජල් ෆරාජ් ට අයත් යැයි කියන බ්‍රිතාන්‍ය එල්බීසී ගුවන්විදුලි සේවාවේ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය. 

මෙම සාකච්ඡාව අතරතුර ට්‍රම්ප් මහතා තම සුපුරුදු අපහාසාත්මක උච්ඡාරණ විලාශයෙන් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ කෝබින් මහතා රට අගාදයකට රැගෙන යනු ඇති බවටත් ඔහු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය වශයෙන් ඉතාම නුසුදුසු බවත් ය. කෝබින් අර්තකථනය කිරීමට ඒ මහතා දිගින් දිගටම “නරක” (bad) යන පදය භාවිතා කළේය.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ජෙරමි කෝබින් මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මෙම අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව ට්‍රම්ප් මහතා වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ ගජ මිතුරකු බවත්, බ්‍රිතාන්‍යයේ එළඹෙන මහ මැතිවරණය කඩාකප්පල් කිරීමට විවිධ අතපෙවීම් යොදමින් සිටින බවටත් ඒ මහතා චෝදනා කරන ලදී.

මෙකී අතපෙවීම් තුළින් සිය මිත්‍ර බොරිස් ජොන්සන් ගේ දෙවන ධූරකාලය ආරක්ෂා කර දීම ට්‍රම්ප් ගේ අරමුණ වී ඇති බව ඒ මහතා අවධාරණය කළේය. 
තම නිල ට්විටර් වේබ්අඩවියේ පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී. 

යුරෝපා සංගමයෙන් නික්ම යාමට බ්‍රිතාන්‍යය ගත් තීරණය සමඟ එරට හටගත් අවාසනාවන්ත තත්ත්වය තුළ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බොහෝ පාර්ශවයන් ගේ අප්‍රසාදයට ලක්ව ඇති බව නොරහසකි. ඉහත සිදුවීම බ්‍රෙක්සිට් විවාදය තුළ පවතින දක්ෂිණාංශික වාමාංශික මත ගැටුමේ තවත් එක් අංගයක් බව මින් පසක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි