BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

යමුනා නදිය සිඳී යයි ! හුස්ම වෙනුවට ‘ගිනි හුස්ම’

නිරයේ තරම් උණුසුමක් සමග ඉන්දියාව ගිනි ගනිමින් තිබේ. පාකිස්ථානයේ ද තත්වයේ වෙනසක් නැත.

යමුනා ගං තෙර – තමළු ලතා හෙවණේ රාධා ක්‍රිෂ්ණා පෙම් කෙළි සමය දැන් අයිති අතීතයට පමණක්ද? මේ ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ යමුනා නදියේ අද තත්වයයි. මේ කළු පැහැයෙන් දිස්වන්නේ භාරත මාතාවට දිය සිසිල බෙදූ යමුනා නදියේ වියැළී ගිය ගං පත්ලයි.

දැඩි අප්‍රේල් උණුසුමෙන් පසුව මේ එළැඹ තිබෙන්නේ මහා නදී වියැළී සිඳී යන ඉඩෝර සමයයි. නවදිල්ලි නුවර හරහා ගලා යද්දී යමුනා නදිය මෙසේ දැකගත හැකි වන්නේ ද එනිසා ය. අද වන විට නවදිල්ලිය, ලෝකයේ උණුසුම අධිකතම නගරයකි. දරුණු තාප රැළි එක පිට එක නැගෙයි. නුවරුන් වාතය යැයි සිතා ගිනිදැල් හුස්ම ගන්නවා වැන්න.

ඉන්දියාව පමණක්‌ නොව පාකිස්ථානය ද තාප රැළි නොහොත් තාපන ධාරාවන්ගෙන් බැට කමින් සිටියි. පාකිස්ථානයේ බලුකිස්ථාන් කලාපයේ සති ගණනක් මුළුල්ලේ පවතින උණුසුම සෙන්ටිග්‍රේට් අංශක 50 දක්වා ඉහළ නැග තිබේ. එය ෆැරන්හයිට් අංශකවලින් අංක 122 කි.

මෙය, මේ වසරේ අන් කිසි කලෙක අපේක්ෂා කළ තත්වයක් නොවේ.

ඉන්දියාව හා පාකිස්ථානය පිස දමමින් යන මේ තාපන රැල්ලේ ප්‍රතිඵලයක් ලෙසට දැන් දහවලට ගෙයින් පිටතට යන්නෝ විරල ය. උහු දහඩිය මුගුරු හෙළමින් ගෙතුළම රැඳී සිටීමට යත්න දරති. අනතුරුව මදක් සිසිල් රෑ කාලයේ පැය කිහිපයකට හෝ වැඩ කිරීමට යත්න දරති. එය ද අසාර්ථක වන්නේ ජලය සහ විදුලිය කපා හැර තිබෙන බැවිනි.

ලෝක ඉතිහාසය තුළ මැයි මාසයක් තුළදී වාර්තා වූ ඉහළම උණුසුම පාකිස්ථානයෙන් වාර්තා වූයේ 2021 වසරේ මැයි මාසයේදී සෙන්ටිග්‍රේඩ් අංශක 54 ක් ලෙස ය. මේ වසරේදී මේ වාර්තාව ද බිඳ වැටීමට ඉඩ ඇත.

ඉන්දියාව සහ පාකිස්ථානය තුළ ඉතා දැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මෙම අධිකතර උණුසුම විසින් බල කර තිබේ. තර්බාත් නගයේ නුවරු ලක්ෂ 2 ක් ජීවත් වෙති. ඔවුන්ට දැන් විදුලිය නොලැබෙන තරම් ය. ලැබෙන සීමිත විදුලියෙන් ද ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක‌ නොවේ. ”අපි ජීවත් වෙන්නෙ අපායක..” ඔවුහු කියති.

ලංකාව ද අයත් වන ඉන්දියානු උපමහද්වීපයටම මේ පෙර නිමිති සුබ නැත. දේශගුණික යථාර්ථයේ කටුක ප්‍රතිඵල එහි වෙසෙන බිලියන 1.5 ක් වන ජනතාවගේ ඇස් ඉදිරිපිට දෘෂ්‍යමාන වෙමින් තිබේ. ගිම්හානය උණුසුම් බව සැබෑ ය. නමුත් නිරයේ තරම් උණුසුමක්…?

මේ මොහොතේ වයඹ දිග සහ මධ්‍යම ඉන්දියාව වසර 122 ක ඉතිහාසයේ දරුණුතම උණුසුම අත්දකිමින් සිටියි. පාකිස්ථානයේ සින්ද් පළාතේ ජැකෝබාබාද් නගරයේ පසුගිය සෙනසුරාදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ක් විය. එය, ලෝකයේ අප්‍රේල් මාසයකදී වාර්තා වූ දැඩිම උෂ්ණත්වයයි.

ඉන්දියාවේ ඇතැම් කෘෂිකර්ම කලාපයක බෝග අස්වැන්න මේ වන විටත් 50%කින් අඩු වී ඇත. රුසියාව යුක්රේනය ආක්‍රමණය කර මේ ගත වන්නේ 69 වන දිනයයි. මෙවැනි‌ දේපාලනික සාධක විසින් ද නුදුරේම එන ආහාර හිඟයක් පිළිබඳ අනතුරු අඟවා සිටියි.

ඇපල් – පීච් වතු වේළෙයි

ඇපල් සහ පීච් වතු බහුලව තිබූ බලුකිස්ථානයේ මුස්ටැන්ග් දිස්ත්‍රික්කයේ ද දැන් පලතුරු වතු වියැළී යමින් ඇත. පැය 18 ක විදුලි කප්පාදුවක් ද ‌මෙහි ක්‍රියාත්මක ය. ”අපිට මේක තවත් දරාගන්න බෑ. ගොවීන්ගේ අනාගතය මොන වගේ වේවිදැයි කියන්න බෑ” ඔවුහු මැසිවිලි නගති.

පාකිස්ථානයේ ස්වදේශික ඇමති ෂෙරී රෙහ්මන් කියා තිබෙන්නේ දේශගුණික හදිසි තත්වය හේතුවෙන් සිය රට සිතාගත නොහැකි දුර්භාග්‍යයක් වෙත ගමන් කරමින් සිටින බවයි. පාකිස්ථානයේ උතුරුකරයේ තිබෙන මහා ග්ලැසියර ද සෙමෙන් දියවන්නට පටන් ගනු ඇත. පහත් බිම් වල වෙසෙන ජනතාවට මහා ගංවතුර විපත්වලට ලක් වනන්නට සිදුවනු ඇත. ජල සංචිත සිඳී යමින් තිබේ. විසල් ගංගා හරහා බැඳි යෝධ බැමි වල පාදම පෙනෙමින් තිබේ. ජල මූලාශ්‍ර වේගයෙන් සිඳී යමින් තිබේ.

දශක 6 කට පසු දරුණුම විදුලි අර්බුදය

ඉන්දියාව මේ මොහොතේ මුහුණ දී තිබෙන්නේ දශක 6 කට පසුව ඇති ව තිබෙන දැවැන්තම විදුලි බල අර්බුදය වෙත ය. දිනපතා පැය 8 ක් දක්වා විදුලිය කැපේ. හරියානා, බිහාර්, පංජාබ් සහ මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්තවල මේ තත්වය ක්‍රියාත්මක ය. දේශීය ගල්අඟුරු සැපයුම් ද අවම තත්වයට පත් වෙමින් ඇත. රට පුරා තිබෙන ගල් අඟුරු සංචිත දේශීය බලාගාර වෙත ගෙන ඒම සඳහා ඉන්දියාව පසුගියදා මගී සහ තැපැල් දුම්රිය ගමන් වාර 600 කට වඩා අවලංගු කර දැමුවේය.

මැයි මාසය තවම ඇරඹුණා පමණි. අප්‍රේල් විසින් ගෙන ආ සාපලත් තාප ධාරාවල උණුසුම තවමත් වින කටිමින් ඇත. මේ අතර, මැයි මසට නියමිත මෝසම් වර්ෂාව ද පමා වෙතැයි පැවසේ.

පහළ හිමාලයේ උත්තර්කාන්ද් හි අඩි 20955 ක් උස යමුනෝත්‍රි ග්ලැසියරයෙන් උපත ලබා 1,376 km ක් දුර ගෙවා යන යමුනා නදියට උපත දුන්නේ හනුමා දෙවියන් යැයි හින්දු සාහිත්‍යයේ පැවසේ. වලිගය ගිනි ගත් හනුමා විසින් භාරත මාතාවගේ විශාලතම අතු ගංගාව සිඳ දමමින් තිබෙන්නේද? වරක් ගිලී නෑවොත් සියලු පව් සේදේයැයි භගවත් ගීතාවේ කියැවෙන යමුනා නදිය මේ ගෙවමින් තිබෙන්නේ වලිගය ගිනි ගත්තා සේ හැසිරෙමින් වනයට ගිනි තැබූ මිනිසුන්ගේ පවද?

Main Photo:AP


මොන්ගෝලියානු මුවෝ: තණපත් අතර සැඟවී ජීවිතය සොයන්නෝ – BBC Planet Earth Series

යුරෝපයේ ලොකුම ප්‍රාසාංගික ගායනා තරගය – යූරෝවිෂන් තරගයේ ජය යුක්රේනයට

ජිලාඩා බැබුන්: කටුක මහ දුර්ගය උන්ට මහ කෙම්බිමකි! – BBC Planet Earth Series

IMF ණය ගත්තත් – පාකිස්ථානයත් බංකොළොත් – ලංකාව ගැන කුමන කතා ද?

විජයග්‍රහණයේ සැමරුම දා ‘මනෝවිකෘති ඒකාධිපතියා’ යැයි පුටින්ගේ වෙබ් අඩවියක සඳහන් වීමේ ඇතුළත කතාව

ගවයන්ගේ ගෙළ සිදුරු කර ලේ බී- උණු අළුවලින් තුවාළ පිරිමදින අසිරිමත් අප්‍රිකාව

ලොකු ගෑස් සිලින්ඩරයක් රුපියල් දාහක් වන නිසා ඉන්දියානුවන් දහස් ගණනක් මහ පාරට!

යුක්රේනය, රුසියාවට විරුද්ධව යුධ අපරාධ නඩුවක් අරඹයි!

error: Content is protected !!
error: Content is protected !!