ඒ සමගම ඔවුන් පවසන්නේ මෙය ‘සිතාමතා නොකළ‘ (unintentionally) එකක් බවයි.
පෙනෙන්නට තිබෙන අන්දමට ඉරානය මේ බව පිළිගැනීමත් සමග සියදිවි නසා ගැනීමට සමාන තත්වයකට පත් වෙයි. නමුත් අවසානයේ ඉරානය එය පිළිනොගෙන සිටිය නොහැකි තත්වයකට ජාත්‍යන්තර පීඩනය හමුවේ පැමිණ තිබිණි. එයට මෙයට දෙදිනකට පෙර කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝගේ බුද්ධි අංශ වාර්තා මගින් ඉරානයේ රොකට්/මිසයිල ප්‍රහාරයක් නිසා මෙය සිදුවූ බවට කළ ප්‍රකාශය මෙන්ම ඊයේ (11) දිනයේ පියාසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය යුක්රේන බලධාරීන් විසින් ලබාගැනීම ද ඇතුළත් ය. අද (12) දිනයේ යුක්රේන බලධාරීන් පැවසුවේ යානය කඩා වැටුණු ස්ථානයට යාමට පැය 3කට පෙර, මෙය රොකට් ප්‍රහාරයක් නිසා සිදුවූ බව තමන් ‘අවබෝධ කරගෙන සිටි බව‘ යි.
අවසානයේ ඉරානයට සිය ‘ගොන්කම‘ සහ ‘වරද‘ පිළිගැනීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.
ඉරාන ජනරාල් ක්වාසම් සොලෙයිමනී මරාදැමීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇති කළ මැදපෙරදිග අර්බුදයේ වාසිය මේ සමග ඇමරිකාවට හිමි වන බව මූලික වශයෙන් පෙනී යන්නේ ‘ඉරානය එවැනි ත්‍රස්තවාදී ක්‍රියා කරන්නේය, සහ මිනිස් ජීවිතවල වටිනාකම නොදන්නේය‘ යන මතය එයින් සනාථ වන බැවිනි.
නමුත් ඉරානය මේ ‘නොහිතා කළ පහරදීම‘ ගැන කරන ප්‍රකාශය ද නොසලකා හැරිය නොහැකි ය. ඉරානය පවසන්නේ ‘මෙය අත්වැරදීමකට අමතරව, විශාල වශයෙන්ම ඇමරිකාවේ ඇඩ්වෙන්චරිසම් – ‘ඇමරිකාවේ අවදානම්කාරී වීරත්වය‘ (US adventurism) ට ප්‍රතික්‍රියා දැක්වීමේදී සිදුවූවක් බවයි.
කෙසේ නමුත් මිනිස් ජීවිත 176 ක් දවා අළු කරමින් පසුගිය බදාදා කඩා වැටුණු Flight 752 යානයේ ඛේදවාචකය මේ අන්දමින් හෙළිදරව් කරන්නට සිදුවනු ඇතැයි ඉරානය නොසිතන්නට ඇත.
යානය ගුවන් ගත වී අඩි කිහිප දහසක් ඉහළට ඇදෙන විට ඉරානය විසින් මිසයිල අත්හදා බැලීම් සිදුකළ බව චන්ද්‍රිකා පද්ධතිවල ද සටහන් ව තිබිණි. මේ අතර, ඒ ආසන්නයේ ගමන් ගත් කිසිවෙකු විසින් යානය කඩා වැටෙන ආකාරය ජංගම දුරකථනයක් ආධාරයෙන් පටිගත කර තිබිණි. මේ අහම්බය විසින් ඉරානයට තවදුරටත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ‘අනෙකා‘ට ඇඟිල්ල දිගු කරමින් කල් ගතකිරීම වැළැක්විණි.
පහත දැක්වෙන්නේ ඊයේ දිනයේ CNN පුවත් සේවය විසින් ලබාගෙන තිබූ, යානය කඩා වැටුණු අවස්ථාවේ සමීප දර්ශන පෙළකි.
මෙම ගුවන් යානය කඩා වැටුණේ ඉරානය විසින් ඇමරිකානු හමුදා ස්ථානගත වී සිටින ඉරාකයේ හමුදා කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුව ය. මෙම ප්‍රහාර, ඇමරිකාව විසින් ජනරාල් ක්වාසම් සොලෙයිමනී මරා දැමීමට එකට එක කිරීමක් විය.
පහත දැක්වෙන්නේ Flight 752 යුක්රේන යානය කඩාවැටීමෙන් පසු මේ දක්වා සිදුවී ඇති ප්‍රධාන සිද්ධි මාලාවයි.
රුසියාවේ නිෂ්පාදනය කළ සර්ෆේස් ටු එයා වර්ගයේ මිසයිල 2 ක් මගින් මෙය සිදු කරනු ලැබුණු බව ඇමරිකානු බුද්ධි අංශ වාර්තා පවසයි. යුක්රේන යානය කඩා වැටීම ආරම්භ වන අවස්ථාවේදී ඉරාන රේඩාර් සංඥා ජෙට් යානය තිබූ ස්ථානයෙන් නතර වන ආකාරය ද ඇමරිකාව විසින් නිරීක්ෂණය කර තිබේ.
කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ පැවසුවේ ගුවන් යානය බිම හෙළීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සිය පූර්ණ සහයෝගය ඉරාන බලධාරීන් වෙත ලබා දෙන බවයි. යානයේ සිටි 176 දෙනාගෙන් 57දෙනෙක් කැනඩා ජාතිකයන් ය.
යුක්රේන අන්තර්ජාතික ගුවන් සේවය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, මේ ගුවන් යානය Boeing 737-800 NG වර්ගයේ බවත්, 2016 වසරේ නිෂ්පාදනය කර, කෙළින්ම ගුවන් සේවය වෙත සපයා ඇති ආරක්ෂිත ගුවන් යානයක් බවත් ය. යුක්රේන අන්තර්ජාතික ගුවන් සේවය විසින්, ගුවන් යානා 42 ක් පවත්වාගෙන යන අතර, ලෝකයේ රටවල් 38කට සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක කරයි.
යුක්රේනයේ රාජ්‍ය ගුවන් ගමන් සේවය විසින් ඉරාන ගුවන් සීමාවට ඇතුල් වන සේ පියාසර කරන සියලු ගුවන් ගමන්, ජනවාරි 9 මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවීය. මේ බව යුක්රේන අගමැති ඔලෙයිස්කි හොන්චාරුක් දැනුම් දී තිබුණේ ෆේස්බුක් සටහනක් තැබීම මගිනි.
පහත දැක්වෙන්නේ ලොවක් තිගැස්සූ ඇමරිකානු -ඉරාන අර්බුදය යුක්රේන ගුවන් අනතුර දක්වා වර්ධනය වී ඇති දින සටහනයි.
දෙසැම්බර් 27: ෂියා මුස්ලිම් කණ්ඩායමකට සම්බන්ධ යැයි කියන, ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ සහාය ද ලැබූ බව කියන මිසයිල ප්‍රහාරයක් විසින් ඇමරිකානු සිවිල් කොන්ත්‍රාත්කරුවෙකු මරා දැමෙන අතර, ඉරාකයේ කිර්කුක් හමුදා කඳවුරේ සිටි ඇමරිකානු සහ ඉරාක හමුදා භටයෝ එම ප්‍රහාරයෙන් තුවාළ ලබති.
දෙසැම්බර් 29: පෙන්ටගනයේ වාර්තා අනුව ඇමරිකානු හමුදාව විසින් කාතිබ් හිස්බුල්ලා ලෙස හඳුන්වන ෂියා මුස්ලිම් කණ්ඩායම විසින් පාලනය කරන ඉරාකයේ සහ සිරියාවේ ස්ථාන 5කට ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉරාකයේ කිර්කුක් හමුදා කඳවුරට පහර දීම සම්බන්ධයෙන් ඇමරිකාව චෝදනා නැගුවේ මෙම හිස්බුල්ලා කණ්ඩායමට ය.
දෙසැම්බර් 31: ඇමරිකානු ගුවන් ප්‍රහාරවලට එරෙහිව විරෝධය දැක්වූ ඉරාන හිතවාදී උද්ඝෝෂකයෝ බැග්ඩෑඩ් නුවර පිහිටා ඇති ඇමරිකානු තානාපති කාර්යාලය ට පහර දුන්හ. තානාපති කාර්යාලයේ තාප්ප බිඳ දැමීම සහ ගේට්ටු විවෘත කිරීමට බල කිරීම මෙහිදී සිදුවිය.
ජනවාරි 3: ඉරානයේ අංක එකේ යුධ ජනරාල්වරයා වූ ක්වාසම් සොලයෙිමනී ඉරාකයේදී මිය යන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කළ ගුවන් ප්‍රහාරයකට ලක් වීමෙනි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මෙම ප්‍රහාරය සිදු කළේ කලාපයේ ඇමරිකානු ජීවිත අවදානමෙන් මුදා ගැනීම සඳහා, විශාල අනාගත ප්‍රහාරයක් වළක්වා ගැනීමේ අදහසින් බව කියයි. ප්‍රහාරයෙන් පසු ඇමරිකාව පවසන්නේ මැදපෙරදිග කලාපයේ දහස් ගණනක් වූ අතිරේක ඇමරිකානු බල ඇණි ස්ථානගත කරන බව ය.
ජනවාරි 5: සිය රට විසින් මේ සඳහා කරන පළිගැනීම, නියත වශයෙන්ම ‘හමුදා ක්ෂේත්‍ර‘වලට එල්ල කරන ‘හමුදා ප්‍රහාර‘ යැයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනිගේ හමුදා උපදේශක පවසයි.
ජනවාරි 8: බදාදා අළුයම, ඉරාන බැලස්ටික් මිසයිල ඉරාකයේ හමුදා කඳවුරු බහුල ස්ථාන 2 ක් වෙත එල්ල වේ. මෙම ප්‍රහාර ජනරාල් සොලෙයිමනීගේ මරණයට වෙනුවෙන් කරන පළිගැනීම් බව ඉරානය කියයි. ට්‍රම්ප්, ඉරානයට තව තවත් සම්බාධක පනවන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. යුක්රේන ගුවන් යානයක් ටෙහෙරාන් අහසේදී හදිසියේම කඩා වැටෙයි.
ජනවාරි 9: 224-194 ක් වශයෙන් ඇමරිකානු කොංග්‍රසය ඉරානයේ යුධ බලය මැඬලීමේ රෙගුලාසිය (Iran War Powers resolution) සම්මත කරයි. මෙමගින් අපේක්ෂා කරන්නේ කොංග්‍රස් අනුමැතියකින් තොරව ට්‍රම්ප්ට හිතුමතේ ඉරානයට එරෙහිව හමුදා බලය යෙදවීමට ඇති හැකියාව සීමා කිරීමයි.
ජනවාරි 10: සිකුරාදා දිනයේ Fox News චැනලය සමග පවත්වන සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පවසන්නේ, සොලෙයිමනී මිය යන අවස්ථාව වන විට තානාපති කාර්යාල 4කට පහරදීමට සැලසුම් කරමින් සිටි බවයි.
ජනවාරි 11: ඉරානය තමන් විසින් යුක්රේන මගී ගුවන්යානාවට මිසයිල ප්‍රහාර එල්ල කළේ වැරදීමකින් බවත්, එය ප්‍රධාන වශයෙන් ‘ඇමරිකාවේ මෝඩ සහ අවදානම් වීරත්වය‘ නිසා සිදුවූවක් බවත් පවසයි.
ජනවාරි 12: යානය කඩා වැටුණු ස්ථානයට යාමට පැය 3ක ට පෙර සිටම, යානය කඩාවැටීමට හේතුව ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයක් බව තමන් ‘අවබෝධ කරගෙන සිටියේ යැයි‘ යුක්රේනය පවසයි.