×

කළු මිනිසුන් වෙනුවෙන් බිහිවන අක්කර අනූහතක සිත්කළු නගරය

‘‘නිදහස වෙත ආයුබෝවන්...‘‘ මේ කඳුකරබද ජෝර්ජියා ජනපදයේ කළු මිනිසුන් වෙනුවෙන් මිලදී ගෙන ඇති අක්කර අනූ හතේ නියෝජිතයෙකු ලෝකයට දෙන පණිවුඩයයි.


එය ස්කොට් සහ ඇගේ මිතුරෙකු වන ව්‍යවසායක රීන් වෝල්ටර්ස්ගේ සිහිනයක් සැබෑ වීමකි. එය ඇමරිකාව තුළදී නේක දුක් ගැහැට විඳින, සිය කළු වාර්ගිකත්වය නිසාම කොන්වීම්වලට සහ වෙනස්කොට සැලකීම්වලට ලක් වන කළු ජාතිකයන්ගේ ප්‍රාර්ථනයයි.

‘‘පිබිදෙන ප්‍රජාවක් නිර්මාණය කිරීමට හැකි වීම ආශ්වාදජනකයි. කෘෂිකර්මාන්තය ඔවුන් වෙනුවෙන් මෙහි තිබෙනවා. වාණිජ කටයුතු සිදු වෙනවා. මුදල් සංසරණය වෙනවා. ඒ සියල්ලටමත් වඩා, ඔවුන් සොයන ආරක්ෂාව මෙහි තිබෙනවා..‘‘ ඔවුහු කියති.

ස්කොට් සහ වෝල්ටර්ස්

කළු ජාතිකයන් වීම නිසා පමණක්ම ජෝර්ජ් ෆ්ලොයිඩ් සහ බ්‍රෙෙනා්නා ටේලර් සුදු ජාතික පොලිස් භටයන්ගේ දෑත්වලින් මරා දමනු ලැබුවේ මේ භූමිය තුළ ය. ජෝර්ජියා ජනපදයේම අහ්මුද් අර්බෙරි, නිදහසේ ඇවිද යමින් සිටියදී මරා දමනු ලැබුවේ ද ජාතිවාදී පොලිස් භටයෙකු විසිනි. එනිසා කළු ජාතිකයන්ට මේ මොහොතේදී ‘ජීවත් වීමේ නිදහස‘ යනු ‘ආරක්ෂාව‘ ම හැර අන් දෙයක් නොවේ.

‘‘අපි මේ සුරැකි ප්‍රජාව තුළ අපටම ආවේණික ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්නවා.

අඩු මිලට විකුණන්නට දැමූ නගරයක්

අන්තර්ජාලය ඔස්සේ සුදුසු බිම්කඩක් සෙවීමට උත්සාහ ගැනීමේදී ඔවුන්ට එය හමුවිය. Town for sale ටැගය යටතේ එසේ අඩු මිලට විකිණීමට තිබුණේ ගම්බද ජෝර්ජියාවේ ටූම්ස්බ්‍රෝ නගරයයි. ඩොලර් මිලියන 1.7කට සම්පූර්ණ නගරයක්ම මිලදී ගත හැකි බව එම දැන්වීමේ සඳහන් ව තිබිණි.

Toomsboroforsale.com නමැති එම වෙබ් අඩවිය පවත්වාගෙන ගිය ටිම් බුම්ගාඩ්නර් සතුව එම නගරයේ දේපළ 30කට වඩා අයත් ව තිබිණි. ඔහු තමන්ට අයත් දේපළ සියල්ල විකිණීමට අවශ්‍ය වූ විට ඒ අන්දමින් දැන්වීමක් පළ කළේ, දළ වශයෙන් එය සම්පූර්ණ ටවුමක්ම වූ නිසා ය.

ඔහුගේ දේපළ අතර ඓතිහාසික තානායමක්, සිරප් නිපදවන මෝලක්, ඔපෙරා රඟහලක්, පාසලක්, දුම්රිය පොළක්, කපු පිළි ගබඩාවක්, අවන්හල්, බාබර් සාප්පුවක්, ජල රෝදයක්, වැඩපොළක්, ඉන්ධන පිරවුම්හළක් සහ නිවාස ගණනාවක් තිබිණි.

A city for sale !

නමුත් සිදුවීම් දාමය ඉක්මනින්ම වෙනත් අතකට හැරවුණේය. ටූම්බ්ස්බ්‍රෝ නගරාධිපතිවරයා පැහැදිලිවම කීවේ නගරයක් විකුණන්නට දමා නැති බවයි. නිව්යෝක් සහ කැලිෆෝනියාවෙන් පවා දුරකථන ඇමතුම් ලැබුණු බවත්, නීතිමය වශයෙන් නගරය විකිණිය නොහැකි බවත් ඔහු පැවසුවේය.

එවිට අපේ කථානායිකාවන් දෙදෙනා පසු බැස්සේ නැත. ඔවුහු දේපළ අලෙවිකරුවන් ලෙස එහි ගොස් අදාළ බිම්කඩවල් සෝදිසි කළහ. අවසානයේ, විකුණන්නට දමා ඇතැයි කී නගරයට යාබද ව, එයින් එපිටින් ඔවුන්ට අවශ්‍ය දේ හමුවිය. එය විල්කින්සන් කන්ට්‍රි සමග ඈඳී නොතිබූ නිදහස් බිම් කඩකි.

Black cooperatives – කළු ජාතිකයන්ගේ සමූපාකාර ක්‍රමය

විවිධ සම්පත් සම්බන්ධ කරමින් සාමූහික හෝ සමූපාකාර ආර්ථිකයන් නිර්මාණය කිරීම ලෝකයට අලුත් දෙයක් නොවේ. විශේෂයෙන්ම ඇමරිකාවේ කළු ජාතික ප්‍රජාව අතරට එය අලුත් දෙයක් නොවේ. මේ වන විට ඔවුන් ප්‍රජා ඉඩම් භාරය සංකල්පය ක්‍රියාවට නංවමින් සිටිති. එමගින් නිල ඉඩම් හිමිකාරිත්වය අවසානයේ ප්‍රජාවටම පැවරේ.

උදාහරණයක් වශයෙන් ඇලබාමා ජනපදයේ හොස්බොන් සිටි 1899 වසරේ නිර්මාණය වූයේ, කළු ජාතිකයන්ව අසල්වැසි නගරවලින් පන්නා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ය. ජූනි මාසයේ හොස්බොන් වැසියෝ ‘Black Towns Matter‘ යනුවෙන් සිය සාර්ථකත්වය සැමරීමට සමත් වූයේ එනිසා ය.

ඇමරිකාවේ පැරණිතම කළු ජාතික නාගරික මිසිසිපි ඩෙල්ටාවේ මවුන්ට් බේයූ හි පිහිටා තිබේ. එම නාගරිකයන් නිර්මාණය කළේ සිවිල් යුද සමයේදී වහලුන්ව සිටි කළු ජාතිකයන් විසිනි.

The Black Co-op movement

‘‘ඔවුන් ඔවුන්ගේම ප්‍රජාවන් නිර්මාණය කර ගත්තා. ගොවිපොළ ආරම්භ කළා. නගර නිර්මාණය කළා. නගර පවත්වාගෙන ගියා. සාමූහික ලෙස වැඩ කටයුතු කළා. සම්පූර්ණයෙන්ම ප්‍රජාව විසින් පාලනය පවත්වාගෙන යන ක්‍රමයක් මත ඔවුන් වහල්භාවයෙන් සහමුලින්ම මිදුණා..‘‘ යැයි විද්වත්හු පවසති.

මෙවැනි කළු නාගරික හෝ කළු ජනපදවලින් අදහස් කරන්නේ සුදු ජාතිකයන්ට ඒවා අන්තර්ග්‍රහණය විය නොහැකි බවක් නොවේ. කළු ජාතිකයන්ගේ ප්‍රශ්නවලට නිසි ප්‍රමුඛතාවය ලබාදෙන බව සහතික කිරීමයි.

උරුමය වෙත නැවතත්

ස්කොට් සහ වෝල්ටර්ස්, කඳුකරබද ජෝර්ජියා ජනපදයේ නිර්මාණය කරන්නට සිහින දකින්නේ ද කළු උරුමය සුරැකෙන ප්‍රජාවකි. ඔවුන්ගේ මූලිකත්වයෙන් දැන් එය පවුල් 19 ක ප්‍රාග්ධන ආයෝජනයක් බවට පත් ව ඇත. එනම් පවුල් 19 ක් විසින් මෙම අක්කර 97 මිලට ගෙන තිබේ. විකුණන්නට දමා තිබූ පරණ නගරයකට වඩා සියල්ල අලුතෙන් ඇරඹෙන නැවුම් බිමක් එහි තිබේ. එහි පළමු පියවර ලෙස භූමිය පිළියෙළ කිරීම පසුගියදා සිදුවිය. තිරසාර ධීවර කර්මාන්තය සිදුකළ හැකි විලක් ද මේ ගමේ නුදුරේදීම තැනෙන්නට නියමිත ය.

Land purchased by the Freedom Georgia Initiative in Wilkinson County, Georiga.

පීත්ත පටියක් කපා දමමින් සමාරම්භය සටහන් කළ උත්සවයේදී ස්කොට් මෙසේ කීය.

‘‘අපි මේ බිමේ ඉතිහාසය ගැන ඒ හැටි දන්නේ නැහැ. නමුත් අපි අපේ කතාව අලුතෙන් ලියනවා..‘‘

ඔවුන්ගේ සැලසුම Freedom Georgia Initiative නමැති මේ ‘ව්‍යාපෘතිය‘ අවසානයේ, ‘‘තනිව නොනැසී සිටිය හැකි පුරයක්‘‘ තමන්ගේ වර්ගයා වෙනුවෙන් නිර්මාණය කර ගැනීමයි.

මේ සිහිනය සැබෑ වීමට තව වසර කිහිපයක් බලා සිටිය යුතුය. කෙසේ වෙතත් ඔවුන්ගේ අරමුණ සිත්කළු ය. සියලු වර්ගයේ අන්තවාදයන්- ජාතිවාදයන් නපුරු බව අවංක ලෙස හඟින්නේ නම් ඔවුන් එකට එක කිරීමෙන් වැළකී සිටිනු ඇත. එවිට එහි තැනෙනු ඇත්තේ නිදහසේ නගරයකි. සිත්කළු පුරයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි