×

බ්‍රෙක්සිට් කෝ? බ්‍රිතාන්‍යය අස්ථාවරයි!

දැන් රටේ අනාගතය කෙබඳුද යැයි විමසූ විට ශ්‍රී ලංකාවට මෙන්ම බ්‍රිතාන්‍යයට ද සිදුව ඇත්තේ "බු හ හ හ හා" යනුවෙන් පිළිතුරු දීමට ය.


යුරෝපා සංගමයෙන් නික්ම යන බවට බ්‍රිතාන්‍යය පළමු නිවේදනය දුන්නේ තෙවසරකට පෙරය. එය තහවුරු වූයේ 2016 වර්ෂයේ පැවති ජනමත විචාරණයේදී ය. 2019 ඔක්තෝබර් 31 වන දින බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාම හෙවත් බ්‍රෙක්සිට් සිදුවීමට නියමිතය.

ඒත් කෝ…? අද 2019 ඔක්තෝබර් මස 31 වෙනිදා ය. 

පසුගිය දිනක සිව්වන වරටද පාර්ලිමේන්තුව තුළ බ්‍රෙක්සිට් අනුමත කර ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අසමත් විය. ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් නික්ම යාමට අකමැත්ත පළ කළ බ්‍රිතාන්‍ය නීති සම්පාදකයින් බොරිස් ජොන්සන් වෙත බල කර සිටියේ එය ප්‍රමාද (තෙවන වරටත්) කරන ලෙසය. 

යුරෝපා සංගමය තවත් තෙමසක කාලයක් බ්‍රිතාන්‍යයට ලබා දුන්නේය. ඒ අනුව, 2020 ජනවාරි 31 වන දින දක්වා සියළු වරප්‍රසාද හා බැඳීම් සහිතව බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමය තුළ රැඳී සිටීමේ ඉඩප්‍රස්ථාව ලැබේ. ඊට පෙර එළඹෙන දෙසැම්බර් 12 වෙනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය පිළිබඳ සිතීමට බ්‍රිතාන්‍යයට සිදුව තිබේ.

බැලූ බැල්මට නම් බ්‍රිතාන්‍යය තවමත් පිටින් ශේප් ය. ජනයා මහමඟ ගමන් කරයි. සාප්පු සංකීර්ණ වෙත පිය නමයි. විලාසිතා වේදිකාව ආලෝකමත් ය. පොප්, රැප්, හිප්හොප් සංගීත බිල්බෝර්ඩ්, බීබීසී චාර්ට් ශ්‍රේණිගත වෙයි. කෙසේවෙතත්, බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තරය තුළ අප්‍රසන්න පරිවර්තනයක් සිදුවෙමින් පවතී. 2016 වර්ෂයේ ජූනි මස බ්‍රෙක්සිට් උදෙසා විමසූ ජනමත විචාරණය මගින් රට තුළ විවිධ අංශ කෙරෙහි බලපෑම් රාශියක් ඇති කිරීමට සමත් විය. 

බ්‍රෙක්සිට් සම්මතය රට තුළ බෙදීම් රාශියක් ඇති කළේය. දක්ෂිණාංශික වාමාංශික දෙපිරිස හතුරන් බවට පත් කළේය. ඒ අනුව හැකි ඉක්මනින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යා යුතු බවට එක් පිරිසක් මත දරයි. එවන් නික්ම යාමක් තුළ අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බව පෙන්වා දෙන තවත් පිරිසක් යුරෝපා සංගමයෙන් නික්ම නොයා රැඳී සිටිය යුතු බවට මත දරයි. 

වාද විවාදය ගැටළුවක් නැත. එකිනෙකා ගේ දේශපාලන දැක්මන් විවිධාකාරය. එහෙත් ගැටළුව නම්, මෙකී බ්‍රෙක්සිට් විවාදය සැමවිටම ‘සිවිලයිස්’ වූයේ නැත.  
බ්‍රෙක්සිට් ගිවිසුමෙහි මෘදු අනුවාදයක් වෙනුවෙන් පෙනී සිටින දේශපාලකයා බ්‍රිතාන්‍ය අර්තකථනයට අනුව ‘කඩාකප්පල්කරුවකු’ විය. විපක්ෂ දේශපාලන දර්ශනයට රජය ‘කුමන්ත්‍රණකරුවන්’ විය. රජයේ (සැබවින්ම බොරිස් ජොන්සන් ගේ) අත්තනෝමතික ක්‍රියා වලට එරෙහි අධිකරණ තීන්දු ලබා දුන් විනිසුරුවරුන් ‘දේශද්‍රෝහී පාහරයින්’ බවට පත් විය. ජනමත විචාරණය අනුමත වූ සැනින් රට තුළ සීඝ්‍ර අපරාධ සිදුවීම් වාර්තාකරණයක් ඇති විය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළ අන්දමට වෛරය මත පදනම් වූ අපරාධ (hate crime) වල නැග්ම පුළුල් මාධ්‍ය වාර්තාකරණයක් තුළ අවමව පැවත 2016 ජනමත විචාරණය හා 2017 ත්‍රස්ත ප්‍රහාර සමඟ නැවත ඉහල යාම ආරම්භ වී ඇත. 

එකී අපරාධ වාග් ප්‍රහාර සිට මිනීමැරුම් දක්වා පරාසයක විහිදේ. ජනමත විචාරණය පැවැත්වීමට සුළු දිනකට පෙර කම්කරු පක්ෂ නියෝජිත ප්‍රභල දේශපාලන ක්‍රියාකරුවකු වූ ජෝ කොක්ස් අමානුශික අන්දමින් ඝාතනයට ලක්විය. ඒ ප්‍රභල දක්ෂිණාංශික මතධාරියකු විසිනි. 

එහෙත් බ්‍රෙක්සිට් හි ප්‍රභලතම බලපෑම ඇතිකිරීමට සමත් වූයේ සංක්‍රමණිකයින් සඳහා ය. යුරෝපා සංගම් නීතිරීති යටතේ, ඕනෑම සාමාජික රටක පුරවැසියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව ඕනෑම ස්ථානයක සේවයේ නිරත වීමේ හා ජීවත් වීමේ අයිතිය පවතී. එහෙත් රටේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය වීමේ ප්‍රභල අවදානමක් බ්‍රෙක්සිට් අනුමත වීම තුළින් හටගැනීමට ඉඩ ඇති අතර, බ්‍රෙක්සිට් ගිවිසුමට සහය පළකරන ගතානුගතික දක්ෂිණාංශිකයින් හට අවශ්‍ය වී ඇත්තේ ද එයම බව මින් පසක් වේ. ඒ අනුව එළඹෙන මැතිවරණ තුළදී ද සංක්‍රමණික ප්‍රතිපත්තීන් කෙරේ විවිධ අන්දමේ විරුද්ධවාදී ප්‍රකාශ නිකුත් වීමට නියමිත බව ද අමුතුවෙන් පැවසිය යුතු නැත. 

මෙම මතභේදාත්මක ජනමත විචාරණයෙන් පසුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාම පිළිබඳ දෙවනවර අනුමත කර ගැනීම (ratification) සඳහා පාර්ලිමේන්තු ගත කළ අවස්ථා සියල්ලේදීම එය ප්‍රතික්ෂේප විය. එමෙන්ම මෙම ආන්දෝලනාත්මක බ්‍රෙක්සිට් සම්මතය හමුවේ යුරෝපා සංගමයට අයත් වෙනත් සාමාජික රටවල වැසියන් බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීම පවා සීමා වූ බවට වාර්තා විණි. තවද, බ්‍රිතාන්‍යයේ පදිංචි වූ වෙනත් යුරෝපීය ජාතිකයන් මෙම සිදුවීමත් සමඟ රට හැර යන බවද වාර්තා වේ. 

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යය ගත් තීරණය ජනතාවගේ පොකට්ටුවට ද මදි නොකියන්න තට්ටු කළේය. එකී ජනමත විචාරණයෙන් පසු බ්‍රිතාන්‍ය පවුමේ වටිනාකම සැලකිය යුතු ලෙස පහත වැටුණි. එමඟින් ආනයනික භාණ්ඩ මිළ හිනි පෙත්තට නැඟි අතර නිවාඩු ගත කිරීම සඳහා වෙනත් රට වල සංචාරයේ යෙදීම බ්‍රිතාන්‍යයින්ට වහකදුරු මෙන් විය. 
පවුමේ අගය පහත වැටීම තුළ එරට උද්ධමනය වැඩිවීමට පටන් ගැණින. උපයන මුදලට සරිලන භාණ්ඩ මිළදී ගැනීමට අපහසු විය. ජනතාව දුගී භාවයට ඇද දමන ස්වරූපයක් මතු විය.

ජාත්‍යන්තර සංක්‍රමණික මධ්‍යස්ථානයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජේ ලින්ඩොප් ප්‍රකාශ කර සිටි අන්දමට යුරෝපා සංගම් ජනමත විචාරණයෙන් පසුව සංක්‍රමණික රටාවන් වෙනස් වී තිබේ. යුරෝපා සංගම් ශුද්ධ සංක්‍රමණය, සමස්තයක් ලෙස ජනගහනයට එකතු වන අතරම, 2009 දී පැවති මට්ටමටම පහත බැස ඇති බවට ඈ පවසා සිටියාය. එමෙන්ම මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල (පෝලන්තය වැනි EU8 ගණයේ රාජ්‍යයන්) පුද්ගලයින් බ්‍රිතාන්‍යයට ආගමනයට වඩා විගමනය වැඩිවී ඇති බවද ඈ හෙළිකර සිටියාය.

බ්‍රිතාන්‍යයේ පවතින මෙම අවිනිශ්චිතභාවය තුළ පවුමේ වටිනාකම අස්ථාවර වී ඇත. බ්‍රිතාන්‍ය ආර්ථිකය බොහෝවිට පාරිභෝගික වියදම් මත පදනම් වූ ආර්ථිකයක් බැවින් පාරිභෝගිකයන් පීඩාවට ලක්වීම යනු ආර්ථිකයේ පුළුල් පසුබෑමක් බවත්, ඒ තුළින් ලොව විශාලතම ආර්ථිකයන් සහිත රාජ්‍යයන් අතර දුර්වලම රාජ්‍යයක් දක්වා බ්‍රිතාන්‍යය පහත වැටී ඇති බවත් විද්වත්හු පෙන්වා දෙති. 

ප්‍රගතිශීලී ජනතාව බ්‍රිතාන්‍යය පත්ව ඇති මෙම පසුබෑම කෙරේ බොරිස් ජොන්සන්ට ඇඟිල්ල දිගුකළද, එයට සැබවින්ම වගකිව යුතු පුද්ගලයා එරට හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් බව අද බොහෝ දෙනෙකුට අමතකව ඇත. 2016 වර්ෂයේ බ්‍රෙක්සිට් ජනමත විචාරණය පිළිබඳ විසබීජය ජනගත කළේ කැමරන් විසිනි. මන්ද, එය ඔහු විසින් 2015 වර්ෂයේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට පෙර දුන් පොරොන්දුවකි. යුරෝපා සංගම් සාමාජිකත්වය පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්වීමට ඔහු ලබා දුන් පොරොන්දුව කැමරන් සිය පළමු ධූර කාලයෙන් පසු දෙවන ධූර කාලයක් සඳහා කැබිනට් මුලසුන ආරක්ෂා කර ගැනීමට බෙහෙවින් උපකාරී විය. 

කැමරන්ගේ කොන්සර්වේටිව් පක්ෂයට දශක ගණනාවක් පුරා යුරෝපා සංගමය සමඟ ගැටළු පැවතියේය. ඒ මත පක්ෂය තුළ විවිධ ගැටුම් හට ගත්තේය. බ්‍රෙක්සිට් ජනමත විචාරණයක් කැඳවීමේ ප්‍රධාන අරමුණක් වූයේ දෙකඩ වූ තම පක්ෂය යළි එක් කිරීමේ අරමුණිනි. සරලව කිවහොත්, කැමරන් බලාපොරොත්තු වූයේ ජනමත විචාරණය ජයගෙන ප්‍රශ්නය එකවරම විසඳා ගැනීමයි.

එහෙත්…. සිදුවූයේ එය නොවේ!

අග්‍රාමාත්‍ය කැමරන් හා ඔහුගේ අනුප්‍රාප්තික තෙරේසා මේ යන දෙදෙනා හටම බ්‍රෙක්සිට් විචාරණය තුළ සිය රැකියා අහිමි විය. බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය එකී ජනමත විචාරණයෙන් පසු තව තවත් පිරිහීමට ලක්විය. ඒ තුළ දක්ෂිණාංශික වාමාංශික ගැටුම ආරම්භ විණි. බ්‍රෙක්සිට් වාදීන් හා බ්‍රෙක්සිට් විරෝධීන් පරම සතුරන් බවට පත් විය. 

කැමරන් ගෙදර ගියේය. බහුතරයද අහිමි විය. තෙරේසා මේ හටද පාර්ලිමේන්තු බහුතරය රැක ගැනීමට නොහැකි විය. දැන් බෝජෝ ගොයියාටද එයම සිදුවෙමින් පවතී. තවත් මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීම හෝ ඔවුන්ගේ බ්‍රෙක්සිට් ක්‍රියාවන් නිසා සේවයෙන් පහ කිරීම සිදුවිය.

බ්‍රිතාන්‍යයේ මෙම දේශපාලන අස්ථාවරභාවය බිඳ දැමීමේ උත්සාහයක් ලෙස, දැන් දෙසැම්බර් මසදී සිව් වසරක් තුළ තෙවැනි මහ මැතිවරණයට එළඹෙමින් සිටී. අතරමඟ වැඩ වන නොවන තාක් කල් එම මැතිවරණය බ්‍රෙක්සිට් ස්ථාවරය හා රටේ අනාගතය පැහැදිලි කරනු ඇත. කෙසේ වෙතත්, ඉදිරියේ දී ගනු ලබන තීන්දු තීරණ සියල්ලන්ගේ ම සිත් සතුටු කරවන්නේ යැයි පැවසීමට ද නොහැකිය. 

දැන් රටේ අනාගතය කෙබඳුද යැයි විමසූ විට ශ්‍රී ලංකාවට මෙන්ම බ්‍රිතාන්‍යයට ද සිදුව ඇත්තේ “බු හ හ හ හා” යනුවෙන් පිළිතුරු දීමට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි