×

මායාවතීලාගේ මායාව සහ පණ්ඩිත්ලාගේ සන්තෝසය

ඉන්දියාව සිය මුස්ලිම් බහුතරයක් ජීවත් වූ එකම ප්‍රාන්තය වූ ජම්මු කාශ්මීරයේ රාජ්‍යත්වය අහෝසි කළේය. ලොව පුරා මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම දේශපාලන සිතියම වෙනස් කිරීමට මුල් වුයේ භාරතීය ජනතා පක්ෂය විසින් බහුතර බලයක් දිනා සිටින මෝදිගේ හින්දුත්ව ආණ්ඩුවයි.


ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය ප්‍රකාරව හිමිව තිබූ එම ප්‍රාන්තයේ ජනතාවගේ දේශපාලනමය ස්වාධිපත්‍යය (political autonomy) අහෝසි කළ මෙම තීරණය විසින් සමස්ත උප මහද්වීපයේම අනාගතය භයානක අඳුරු ආගාධයකට ඇද දමන පූර්වාදර්ශයක් නිර්මාණය කරමින් තිබේ.

ඉන්දියාවේ බහුතර ජන මතය ද මෝදිගේ ජන මතයට දෙවැනි නැත. මේ වන විට බහුතර ඉන්දියානුවෝ, ඉන්දු කාශ්මීරය ඉන්දීය දේශපාලන සිතියමෙන් ඉවත් කිරීම ගැන ප්‍රීති ඝෝෂා පවත්වති. කියවන්න- Article 370: The Indians celebrating Kashmir’s new statushttps://www.bbc.com/news/world-asia-india-49250594

ඉන්දු කාශ්මීරයට විශේෂ තත්වයක් පිරි නමා තිබුණේ ඇයි?

එයට පරම හේතුව, එය දේශපාලනික වශයෙන් ‘සංවේදී කලාපයක්‘ වීමයි. තවද ඉන්දියානු දේශපාලනය තුළ එය ‘වැදගත් ප්‍රශ්නයක්‘ ලෙස ඉතිරිව තිබීමයි. බොහෝ ඉන්දියානුවන් එය සලකන්නේ සිය ජාතික අනන්‍යතාවයේ සහ අභිමානයේ මූලික අංගයක් (a fundamental part of their national identity and pride) ලෙස ය.

370 අවලංගු කළ හැටි

370 අවලංගු කිරීම මගින් එහි ෆෙඩරල් රාජ්‍යත්වය අහෝසි වෙයි. ඒ අනුව මින් ඉදිරියට කාශ්මීරය ගැන සියලුම දේශපාලන තීන්දු ගැනීම මධ්‍යම රජයේ අයිතියක් බවට පත් වෙයි.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය ඉහත කී හේතු නිසාම ඉන්දීය දේශපාලන වේදිකාවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුණේය. ඉන්දියාව ජම්මු කාශ්මීරය දුටුවේ විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස නොව, ගළවා දැමිය යුතු කොටසක් ලෙස ය.

හින්දු අන්තවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) දීර්ඝ කාලයක පටන්ම ජම්මු කාශ්මීරය ඇහේ ඇනෙන කටුවක් සේ දුටුවේය. 2019 මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ද නරේන්ද්‍ර මෝදි එක හෙළාම පැවසුවේ තමන් 370 වගන්තිය ප්‍රත්‍යාදිෂ්ට කිරීමට එනම් අවලංගුකිරීමට/නිෂ්ප්‍රභා කිරීමට කටයුතු කරන බවයි.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ඉන්දියානු බහුතර විපක්ෂය වන ගාන්ධිවරුන්ගේ ජාතික කොංග්‍රසය එයට එකහෙළාම විරෝධය පළ කළේය. නමුත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු හැමවිටම, පාර්ලිමේන්තු ශාලාවේ රැස්වීමට වරම් ඇති ඔළුගෙඩිවල ජනප්‍රිය මතයයි. ආණ්ඩුව තුළ සුළුතර බලයක් හිමි ඉන්දීය ජාතික කොංග්‍රසයේ විරෝධතාවයෙන් මේ නිසා පලක් වූයේ නැත.

කෙජ්රිවාල් සහ මායාවතී මායාවක

මෙහිදී අවම වශයෙන් මායාවතී හෝ අර්වින්ද් කෙජ්රිවාල් හෝ ඉන්දීය ජාතික කොංග්‍රසයේ සහයෝගයට පැමිණියේ නැත.

මායාවතී යනු, කලෙක ස්පර්ශයට නුසුදුසු යැයි සැලකූ, ඉන්දියාවේ දැඩි ලෙසම කුල භේදය සහ වෙනස්කොට සැලකීම් හොඳින්ම අත්විඳි දාලිත් ජන නායිකාවකි. ඇය, බහුජන් සමාජ් පක්ෂයේ නායිකාවයි.

අර්වින්ද් කෙජ්රිවාල් යනු, ඉන්දීය සමාජය තුළ සෑම අංශයකම මුල් බැසගෙන ඇති දූෂණය සම්බන්ධයෙන්, සමාජ අයුක්තිය සම්බන්ධයෙන් දැඩි සේ සිය හඬ අවදි කළ, මැග්සාසෙයි සම්මානයෙන් ලද මුදල් සම්භාරය පවා මහජන සුබසිද්ධිය සඳහා පරිත්‍යාග කළ ක්‍රියාකාරිකයෙකි. ඔහු මේ වන විට ඉන්දීය පාර්ලිමේන්තුව තුළ ආම් අද්වාමි පක්ෂය නියෝජනය කරයි.

මේ පක්ෂ දෙකම ඉතිහාසයේ පටන් ම නියෝජනය කළේ ලිබරල් සහ ප්‍රගතිගාමී සමාජ ව්‍යාපාරයන් ය.

අවම වශයෙන් මේ දෙදෙනා හෝ ඔවුන්ගේ පක්ෂ දෙක හෝ මෝදිගේ අවලස්සන ‘ගළවා දැමීම‘ට විරුද්ධ නොවීම, කොතරම් සමාජ සාධාරණත්වය අගයන්නන් වුවද ජාතිකානුරාගය නමැති කඩතුරාව හමුවේ දෑස් අන්ධ කර ගන්නා බවටත්, භාවතීශය වන බවටත් නිසැක සාධකයකි.

මායාවතී සහ කෙජ්රිවාල් මෙවැනි තත්වයකට පත්ව සිටින විට කලාපීය වශයෙන් බලයක් හිමි ආන්ද්‍රා ප්‍රදේශ් හි YSR Congress හා තෙළිඟු දේසම් හා තමිල්නාඩුවේ කරුණානිධිලාගේ AIADMK පක්ෂය ද 370 නිෂ්ප්‍රභා කර ජම්මු කාශ්මීරයේ ස්වයං පාලනය අහෝසි කළ යුතු බවට එකඟ වීම අරුමයක් නොවේ.

මේ කාරණයේදී මෝදි ‘හුදී බහුජන මතය‘ ලෙස සලකන්නේ තමන් වැනිම ජාතිවාදී අදහස් සහිත බහුතරයකගේ මතයයි. ඔහු සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නෙකු නම් අවම වශයෙන් ඔහු ඉන්දු කාශ්මීරයේ ඉන්දියානු පාලනයක් සහිත කලාපයේ සිටින දේශපාලන නායකයන්ගේ මතයට ගරු කළ යුතුව තිබිණි.

ඉන්දු කාශ්මීරයේ ඉන්දියානු පාලනයක් සහිත කලාපයේ ප්‍රධාන දේශපාලන පක්ෂ 2 ක් තිබේ. එනම්, ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (PDP) සහ ජාතික සම්මේලනය (National Conference (NC)) ය. මේ පක්ෂ දෙකම මෝදිට ‘එහෙම කරන්න එපා‘ යැයි මහ හඬින් කියා සිටියහ.

ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරුතම දිනය

හිටපු කාශ්මීර මහ ඇමතිනී මහ්බූබා (EPA)

ඉන්දු කාශ්මීරයේ හිටපු මහ ඇමතිනී මෙහ්බූබා මුෆ්ති, අගෝස්තු 5 වැනිදා මේ සිදුවීම ගැන ට්විටර් පණිවුඩයක් පළ කරන්නට සමත් වූවාය. එහි සදහන් වන්නේ මෙසේ ය.

‘‘අද ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරුතම දිනයයි. 1947 වසරේදී ස්ථාපිත කළ ‘ජාතීන් දෙකේ සිද්ධාන්තය‘ ප්‍රතික්ෂේප කර 370 වගන්තිය නිෂ්ප්‍රභා කිරීමට ගත් ඒකමතික තීරණය නීති විරෝධී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වේ.‘‘

ඇගේ තවත් ට්විටර් පණිවුඩයක මෙසේ සඳහන් වේ. ‘‘අද දින ජම්මු කාශ්මීර ජනතාවට පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතන ගැන තිබූ විශ්වාසය සහමුලින්ම අහිමි විය. මෙමගින් කාශ්මීර අර්බුදය තවදුරටත් සංකීර්ණ වනු ඇත.“

එසේම ඇය තවදුරටත් කියා සිටියේ 1947 වසරේදී ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබන විට ඉන්දියාව සමග අත්වැල් බැඳ ගැනීමට ගත් තීරණයට මෝදි ආණ්ඩුව මෙසේ ද්‍රෝහි වූ බවයි.

කාශ්මීර පණ්ඩිතයන්ගේ සන්තෝසය!

ඉන්දියාවේ බහුතර හින්දුත්වවාදී ජනතාවගේ ප්‍රීති ඝෝෂා සමග මේ වන විට කාශ්මීරයේ එකම එක ජන කොටසක් පමණ එක්ව සිටිති. ඔවුන් නම් ඉන්දු කාශ්මීරයේ ජීවත් වන උසස් කුල හින්දූන් ය. ඔවුන් හැඳින්වෙන්නේ Kashmiri Pandit යන නමෙනි.

මේ පණ්ඩිත්ලා දැන් පරම්පරා ගණනාවක් සිය මුස්ලිම් අසල්වාසීන් සමග සමගියෙන් ජීවත් වූ, ඉන්පසු 1990 දශකයේදී ගරිල්ලා ප්‍රහාර සමග කාශ්මීර නිම්නයෙන් පිටමං වූ අය ය. 1990 දශකයේ එල්ල වූ දැඩි ප්‍රහාර සමග 300,000 ක් ව තිබූ ඔවුන්ගේ ජනගහනය 5000 කට නොවැඩි ප්‍රමාණයකට පහළ බැස්සේය. ගරිල්ලා ප්‍රහාර හමුවේ ඔවුන්ගෙන් වැඩි කොටස ඉන්දියාවේ සෙසු පළාත්වලට පළාගියහ. සුළු කොටසක් ජම්මු ප්‍රදේශයේ පදිංචි වූහ. සිදුවූ මහා ජන සංහාරයත් සමග ඔවුන් නිතැතින්ම මෝදි අනුගාමිකයන් බවට පත්ව තිබේ.

BBC

කාශ්මීරයේ ඉඩම් අයිතිය

ඉන්දියානු රජයේ නව පියවරත් සමග දැන්, කාශ්මීර නොවන වැසියන් හට කාශ්මීරයේ දේපළ සහ ඉඩකඩම් යනාදිය මිලදී ගැනීමට තිබූ බාධාවන් ඉවත් වී යයි. ඒ අනුව කාශ්මීර නොවන ඉන්දියානුවන්ට දැන් කාශ්මීරයට ගොස් පදිංචි වීමටත් එහි ආයෝජන සිදුකිරීමටත් පුළුවන. මේ අනුව කාශ්මීරය මුස්ලිම්වරුන්ගේ සිත්වල දිගු කලක් පැවති බියක් තහවුරු වී තිබේ. ඔවුන්ගේ දේශභූමිය, සංස්කෘතිය සහ ජීවන රටාව දැන් සහමුලින්ම අනතුරේ ය.

කාශ්මීරයේ ජීවත් වන මිලියන 7ක ජනතාවකගේ ඉරණමේ ආසන්නතම තීරකයා බවට මේ මොහොතේ පත්ව සිටින්නේ මිලියන භාගයක් වන ඉන්දීය සොල්දාදුවන්ය.

එය සිදුවන්නේ ඉන්දීය ජනපතිගේ සිතැඟි පරිදි සහ පාර්ලිමේන්තුවේ බහුතර මතය පරිදි ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් නිෂ්ප්‍රභා කිරීමේ නීත්‍යානුකුලභාවය පිරික්සමින් ඉන්දීය නීතීඥ එම්.එල්. ෂර්මා විසින් හදිසි ගැටළුවක් සේ සලකා මේ පිළිබඳ තීන්දුවක් ලබාදෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීම පසෙක තැබීමත් සමග ය.

මේ පිළිබඳ ලිපිය – කාශ්මීරය පිළිබඳ හදිසි නඩු විභාගයක් ඉල්ලා කළ අභියාචනය ඉන්දීය අධිකරණය ඉවත දමයි.

මේ වන විට පාකිස්ථානය ඉන්දියාවේ මේ ක්‍රියාවට එරෙහිව හැකි සෑම දෙයක්ම කරන බව කියා තිබේ.

ඉන්දියාව සමග සියලු රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ කටයුතු නවතාලන්නට පාකිස්ථානය ක්‍රියා කරයි.

කලාපයට දැන් එළඹ තිබෙන්නේ බහුතර ජනමතයේ නාමයෙන් සුළුතරයකගේ අයිතිවාසිකම් මහ දවාලේ උල්ලංඝනය කරන කාලයකි. දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දුන් තවත් එක් භයානක සන්ධිස්ථානයක් මෙසේ සනිටුහන් වෙයි.

මීළඟට – ‘‘මමත් ගන්නව තුවක්කුවක්‘‘!

පෙර ලිපිය – හින්දු අධිරාජ්‍යයක සිහින දකින්නන් විසින් කාශ්මීරය ගිල ගැනීම



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි