×

ඉරානයට පහර දීමට ඊශ්‍රායල කරන ලද සැලසුම් පිළිබඳ එක්සත් ජනපද තොරතුරු අන්තර්ජාලයට කාන්දු වේ

රහසිගත තොරතුරු අන්තර්ජාලයට කාන්දු වීම පිළිබඳව ජනාධිපති ජෝ බයිඩන් දැඩි කනස්සල්ලට පත්ව සිටියි..


සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානය, ඊශ්‍රායලය හා සම්බන්ධ එක්සත් ජනපදයේ අතිශය රහස් තොරතුරු ලේඛන දෙකක් අන්තර්ජාලයට කාන්දු වී ඇති බව වාර්තා වේ.

එනම්, මෙම ලේඛන එක්සත් ජනපද ජාතික භූගෝලීය-බුද්ධි ඒජන්සිය විසින් ඔක්තෝබර් 15-16 දිනවල විශ්ලේෂණය කරන ලද බුද්ධි තොරතුරු මත පදනම්ව ඉරානයේ ඉලක්ක වෙත පහර දීමට ඊශ්‍රායලයේ සූදානම පිළිබඳ එක්සත් ජනපදයේ වර්ගීකරණය කරන ලද තක්සේරුවකි.

මෙහි විශේෂ ලක්ෂණය නම් ගුවනින් දියත් කරන ලද බැලස්ටික් මිසයිල (ABLM) පද්ධති දෙකක් වන Golden Horizon සහ Rocks ගැන සඳහන් කර තිබිම හා ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන හෝ එහි තෙල් ස්ථාපන ඉලක්ක කිරීමට එක්සත් ජනපදය සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි.

පසුගිය සිකුරාදා (18) ටෙලිග්‍රාම් පණිවුඩකරණ යෙදුමේ දර්ශනය වූ ඉතා රහසිගත මෙම ලේඛන අන්තර්ජාලයට කාන්දු වූයේ කෙසේදැයි සොයා බැලීමට එක්සත් ජනපද විමර්ශකයින් උත්සාහ කරන අතර ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙම රහසිගත තොරතුරු අන්තර්ජාලයට කාන්දු වීම පිළිබඳව ජනාධිපති ජෝ බයිඩන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

මෙම ලේඛන ඉහළම රහස් යන මාතෘකාව යටතේ, “FGI” යන කෙටි යෙදුම ඇතුළත්ව ඇති අතර නිතිපතා බුද්ධි තොරතුරු බෙදා ගන්නා බටහිර ජාතීන් පහ, එනම් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර මේවා බෙදී ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි