×

චීන කෝවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය

චීනයේ නිෂ්පාදනය කරන සිනොෆාම් (Sinopharm) එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය හිමි ව තිබේ.


මෙය, බටහිර නොවන ජාතියක් විසින් නිෂ්පාදනය කරන, WHO අනුමැතිය ලත් ලෝකයේ ප්‍රථම කෝවිඩ්-19 එන්නත බවට මේ අනුව පත් වේ.

මෙම වැක්සිනය චීනයේ සහ ලෝකයේ රටවල් ගණනාවක මිලියන ගණනකට මේ වන විට ද ලබා දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර කියා තිබුණේ තමන් අනුමැතිය ලබාදෙන්නේ ෆයිසර්, ඇස්ට්‍රා සෙනෙකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හා මොඩර්නා යන සමාගම් විසින් නිපදවන කෝවිඩ් එන්නත්වලට පමණක් බවයි.

නමුත් අනතුරුව අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ ආසියාවේ දුප්පත් රටවල අභ්‍යන්තර සෞඛ්‍ය නියාමකයන් විසින් චීන එන්නත සිය රටවල් සඳහා භාවිතා කිරීම සිදුකරනු ලැබීය.

චීන එන්නතේ සාර්ථකත්වය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සතුව තිබුණේ දත්ත සුළු ප්‍රමාණයක් බව ප්‍රකට කරුණකි.

නමුත් ඊයේ (සිකුරාදා) ඔවුන් පැවසුවේ ‘ආරක්ෂිත, කාර්යක්ෂම සහ තත්වයෙන් උසස්‘ කෝවිඩ් එන්නතක් වශයෙන් තමන් විසින් චීනයේ සිනොෆාම් එන්නත ද වලංගුකරණය කරන බවයි.

වයස අවුරුදු 18 සහ ඊට වැඩි අයට එන්නත් මාත්‍රා දෙකක් මේ අනුව ලබාදීම අනුමත කෙරිණි.

සිනොවැක් (Sinovac) චීන සමාගම ද මේ වන විට තවත් එන්නතක් නිපදවා ඇත. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තක්සේරු කරමින් පවතියි.

ඉදිරියේදී මේ එන්නත් දෙක සඳහා ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදීමට නියමිත බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි