එහෙත් ඓතිහාසික වාර්තාවලට අනුව ක්‍රි. පූ 428 – 348 යුගයේ විසූ දාර්ශනික ප්ලේටෝ නියමිත වේලාව ට වාදනය වන ජල ඔර්ගනයක් සහිත විශාල ජල ඔරලෝසුවක් සිය හෝරා යන්ත්‍රය ලෙස භාවිත කෙළේය. එහි තිබූ එලාමය වූයේ පෙර කී ජල ඕගනයයි.
සිය ශිෂ්‍යයන්ට අලුයම දේශන පැවැත්වීම ට ඔහුට මේ උපකරණය මහත් ඵලදායී වන්නට ඇත.
මේ අතර හෙලනික ජාතික ඉංජිනේරුවෙකු වූ තෙසීබියස් නමැත්තා ක්ලෙප්සිඩ්‍රස් උපකරණය නිපදවීමේදී එය ට එලාම් ඔරලෝසුවක් හා සමාන පෑ තැටියක් සවිකළ බව සඳහන් වේ. ඉන් අනතුරුව පහළොස් වැනි සියවසේ බටහිර යුරෝපයේ දැවැන්ත බට්ටා සහිත හෝරා කණු නිපදවිණි.
එහෙත් ගෘහස්ථ භාවිතය සඳහා සුදුසු එලාම් ඔරලෝසුවක් තවම නිපදවා තිබුණේ නැත. එනිසා පල්ලියේ දේව මෙහෙය සඳහා උදෑසන ම අවදිවනු වස් සිය පාදයේ මහපටැඟිල්ල අසල ඉටිපන්දමක් දල්වා ගෙන නින්දට ගිය මධ්‍යතන යුගයේ පූජකවරුන් පිළිබඳ පුරාවෘත්ත ද ලෝකයේ බිහිවිය.
මේ සියලු ඉතිහාස කතා දැන සිටි එක් ඔරලෝසු තනන්නෙක් අමෙරිකාවේ නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ සිටියේය. ඔහු ලෙවී හචින්ස් ය. එවක ට විසි හය හැවිරිදි විය. හිරු උදා වූ පසුව නොව සෑම දිනක ම අලුයම 4ට අවදි වීම ට ඔහුට අවැසි විය. එනිසා ඔහු තීරණය කළේ අලුත් වැඩියාව සඳහා ගෙනැවිත් තිබූ ඔරලෝසුවලින් එකක ට හෝරාව හඬ ගා කියන යම් උපාංගයක් සවි කිරීමට ය.
ලෙවී පයින් ලීයෙන් කළ කැබිනෙට්ටුවක් තුළ විශාල පිත්තල ඔරලෝසුවක අභ්‍යන්තර කොටස් තැන්පත් කෙළේය. ඉන්පසු එයට ගියරයක් හෙවත් දණ්ඩක් සම්බන්ධ කෙළේය. ඒ හරිය ට අලුයම 4 වූ විට මිනිත්තු කටුවේ එම දණ්ඩ ගැටෙන ලෙස ය. එවිට සීනුවක් සක්‍රිය වූ අතර ඉන්පසු එම සීනුව නොකඩවා නාද වීම ඇරඹුණි. උපාය වැඩ කෙළේය. ලෙවීට නැවත කිසිදිනෙක ප්‍රමාද වී අවදිවීමට සිදුවූයේ නැත.
එහෙත් අවාසනාවක මහත! ලෙවී හචින්ස් ට මේ ලොව ප්‍රථම යාන්ත්‍රික ඔරලෝසුව සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට තරම් තියුණු මනසක් තිබුණේ නැත. ඒ සඳහා පේටන්ට් අවසරය දිනාගත්තේ 1847 දී ප්‍රංශ නව නිපැයුම් කරුවෙකු වූ ඇන්ටොයින් රේඩියර් විසිනි.