×

තුන් මසක් අතුරුදන් වී, ජැක් මා මක් කළාද?

සුප්‍රසිද්ධ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා, මාස 3 ක් තිස්සේ අතුරුදන් වී සිටි බව කවුරුත් දනිති. චීන රජය විසින් ඔහු අතුරුදන් කළ බවට ද රාවයක් පැතිර තිබිණි. කෙසේ නමුත් පසුගිය ජනවාරි මාසයේදී ඔහු කෙටි වීඩියෝවකින් නැවත කරළියට ආවේය. නමුත් ඒ ආවේ, පෙර සිටි ජැක් මා නොවේ!


ජැක් මා, ඇමරිකානු ඩොලර් බිලියන 50 ක් වටියි. ඔහු සිටියේ චීනයේ ධනවත්ම මිනිසා වීමේ කිරුළ අද්දර ය. ඔහු කඩවසම් අයෙකු නොවේ. නමුත් ජැන්ඩියට අඳින්නට ප්‍රිය කළ ඔහු, චීනයෙන් බටහිරට ගිය ‘ටෙක් ටයිටන්‘ ය. ඒ ඔහුගේ එක් විරුදාවලියකි.

2020 නොවැම්බරයේදී තවත් අතිශය සාර්ථක වූ තාක්ෂණික-වාණිජ සන්ධ්‍යාවකින් පසු ඔහු අතුරුදන් වීම ලෝකයේ ශීර්ෂපාඨ මැව්වේය.

ජැක් මා අලිබබා සමාගම පටන්ගත්තේ සිය තට්ටු නිවාසයේ සිටියදී ය. කුඩා ඔන්ලයින් කඩයක් ලෙස ය. නමුත් අද වන විට ඔන්ලයින් ෂොපින් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ඔහුගේ සේවාවන් ලබාගන්නා ලොව පුරා ජනගහනය මිලියන 800 කි.

මේ කුඩා සිරුරැති ජේත්තුකාරයා චීනය එළිපිට විවේචනය කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ව ද කලක් ඇසුරු කළේය. ඇමරිකාවේ මිතුරෙකු බවට පත් විය. ඒ සියල්ලම අතරේ සිය සමාගමේ සේවකයන්ට යහමින් සලකන්නට ද අමතක නොකළේය. දහස් ගණන් වූ සිය සේවකයන් වෙනුවෙන් ඔහු පැය ගණන් දිගු සාද නොමිලේ පැවැත්වීය. ඔවුන් වෙනුවෙන් ගීත ද ගායනා කළේය. ඔහුගේ අලුත්ම ව්‍යාපාරික නවාතැන වූ ඇන්ට් ගෘෘප්හි ඉලක්කය බවට පත් වී තිබුණේ චීනයේ ඩිජිටල් වෙළඳපොළයි.

Jack Ma | Getty Images

සම්ප්‍රදායික බැංකු පද්ධතිය සොළවා දමන්නට තරම් තාක්ෂණික විභවයක් ඔහුගේ අලුත්ම ව්‍යාපාරය සතු විය. 2020 ඔක්තෝබර් 24 වැනිදා ෂැංහයිහිදී Ant Group සූදානම් ව සිටියේ කොටස් වෙළඳපොළ තුළ ලෝකයේ ලොකුම මහජන කොටස් නිකුතුව සිදුකරන්නට ය. මේ උත්සවය වෙනුවෙන් ජැක් මා, චීනයේ මූල්‍ය පද්ධතිය විවේචනය කරමින් කතාවක් ද පැවැත්වීය.

ඔහු අතුරුදන් වූයේ ඉන් පසුව ය. එක්කෝ ඔහුව නිවාස අඩස්සියේ තබා ඇති බවට, නැත්නම් අත්අඩංගුවට ගෙන ඇති බවට ද කතා පැතිරිණි.

BBC Radio 4 සඳහා The Real Internet Giants වැඩසටහනේ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ යෙදෙන කැත්රින් පාර්සන්ස් පවසන පරිදි, ජැක් මාගේ කතාව චීනයේ බැංකු පද්ධති ප්‍රධානීන් තරහ ගස්වා ඇති අතර, ඉක්මනින්ම එය ජනපති ෂී ජින් පින්ගේ අවධානයට ද යොමු කර ඇත. ඉක්මනින්ම ජැක් මා සහ ඇන්ට් ගෘෘප් හි ප්‍රධානීන් ව චීන බලධාරීන් විසින් රැස්වීමකට කැඳවන අතර, කොටස් නිකුතුව අත්හිටුවේ.

චීන ජනපති ධී ජින් පින්, නූතන ලෝකයේ ජෙන්ගීෂ් ඛාන් ලෙස ද හැඳින්වේ |REUTERS

ජැක් මා, පෙනෙන්නට නැති වන්නේ සත්‍ය වශයෙන්ම මේ රැස්වීමෙන් පසුව ය.

චීන ආණ්ඩුව මේ වන විට ජැක් මා ගේ ආලිබබා සමාගමට එරෙහිව ‘තනි ආධිපත්‍යය පිටුදැකීමේ ප්‍රතිපත්තිය‘ (anti-monopoly investigation) යටතේ විමර්ශනයක් අරඹා තිබේ.

පසුගිය සතියේ අසන්නට ලැබුණේ චීනය සමාගම් 12කට දඩ ගසා ඇති බව ය. ඒ අතර Tencent සහ Baidu සමාගම් ද වේ. ඒවා පෙර කී අන්දමින් වෙළඳපොළ තුළ තනි ඒකාධිකාරයක් ඇති කර ගැනීමට උත්සාහ කරන බවට ෂී ජින් පින්ගේ නිලධාරීන් චෝදනා නගා තිබිණි.

තාක්ෂණික බලය නමැති අසරුවාට දැන්මම රේන්ස පටිය දැමිය යුතු බව ෂී ජින් පින් කල්පනා කරනවා විය හැකිය.

ඔස්ට්‍රේලියාවේ ක්‍රමෝපායික ප්‍රතිපත්ති ආයතනයේ පර්යේෂිකා සමන්තා හොෆ්මන් මෙසේ කියයි.

‘‘චීන කොමියුනිස්ට් පක්ෂයේ කමිටුව සමාගම් මෙල්ල කරන්න පසුබට වන්නේ නැහැ. පක්ෂයට තමයි පරම බලය තිබෙන්නේ. සමාගම්වලට නෙවෙයි. ආලිබබා වැනි අන්තර්ජාතික සමාගමකට වුණත් ඒ බව සිහිපත් කර දෙන්නට ඔවුන් උත්සුක වෙනවා..!‘‘

ඔව්, ජැක් මා චීනයට ලොකු නැත.

ජැක් මා ට ද චීනය ලොකු නැත.

නමුත් ජැක් මා ට ජැක් මාගේ ජීවිතය ලොකු ය.

අවසානයේ දිගු නිවාඩුවක් ගන්නට ඔහු තීරණය කළා විය හැකිය. ජනවාරි 20 වැනිදා කෙටි වීඩියෝවකින් පුණ්‍ය කටයුත්තකට සහභාගි වීම, ඉන්පසු ගොල්ෆ් සෙල්ලම් කිරීම වැනි ඉතා සීමිත අවස්ථා ගණනකදී හැර දැන් ජැක් මා පෙනෙන්නට නැත.

මින් ඉදිරියට ජැක් මා බොහෝ සෙයින් කට පරිස්සම් කර ගනු ඇත. මොන දේ කරන්නටත් මා ජීවත් වී සිටිය යුතු යැයි ජැක් මා අවසානයේ කල්පනා කරනවා විය යුතුය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි