×

නෝත්‍ර දාම් දේවස්ථානය නැවත නැගී සිටින බවට ඉතිහාසය දෙස් දෙන්නේ කෙසේද යත්? – ක්‍රිස්ටීන් රොමි

‘ඔබ කතෝලිකයෙක් වුණත් නැතත්, ආසන දෙව්මැදුරක් කියන්නේ, ප්‍රජා ප්‍රෞඪත්වයේ උල්පතක්.’



1163 වසන්තයේ දවසක නෝත්‍ර දාම් දේවස්ථානයට මුල්ගල තැබුණි. පැරිසියේ ‘ඉල් දෙ ලා සිතේ’ නැමැති මෙම ස්ථානයේ ඊට කලින් ක්‍රිස්තියානි පල්ලියක් ද, ඊටත් සියවස් කිහිපයකට කලින්, කුඩා රෝම දේවස්ථානයක් ද තිබුණි. සියවස් ගණනාවක් යන විට, පැරිසියේ ආධ්‍යාත්මික සහ පෞර කේන්ද්‍රය සේ විරාජමාන වූ වර්තමාන නෝත්‍ර දාම් දේවස්ථානය, 16 වැනි සියවසේදී ප්‍රංශ ප්‍රොතෙස්තන්තවාදීන් අතින් ද, 18 වැනි සියවසේදී කැරලිකරුවන් අතින් ද, 20 වැනි සියවසේදී හිට්ලර්ගේ නට්සිවාදීන් අතින් ද විවිධ විනාශයන්ට සහ අලාභහානිවලට ලක්විය. වසර 850 ක ඉතිහාසය තුළ එය සදාදර පූජණීය ස්ථානයක් සේම කැරලිකාරීන්ගේ ඉලක්කයක් බවටත්, විටෙක විනාශ වන සහ නැවත ගොඩනැගෙන ස්ථානයක් බවටත් පත්ව ඇතත්, 12 වැනි සියවසේ දැමූ අත්තිවාරම තවමත් එම බිමේ නොනැසී පවතී.

දැන්, 21 වැනි සියවසේ වස්සානයේ සෞම්‍ය දවසක ඒ දේවස්ථානය ගිනිගෙන දැවෙන විට පැරිස් පොලීසියේ සහ නාගරික අධිකාරියේ මිනිස් පවුරක් එකාවන්ව නැගී සිට, එම ස්ථානයේ තැන්පත්ව තිබූ වටිනා ඓතිහාසික වස්තුවෙන් විශාල ප්‍රමාණයක් බේරා ගැනීමට කටයුතු කළහ. ක්‍රිස්තියානි විශ්වාසය අනුව, කුරුසයේ ඇණ ගැසූ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ මොහොතේ හිසේ තිබූ කටු ඔටුන්නත්, වර්ෂ 1238 දී පමණ 9 වැනි ලුවී රජු එම කෞතුක වස්තුව නෝත්‍ර දාම් දෙව් මැදුරට පූජා කළ අවස්ථාවේ හැඳ සිටි චෝලයත් ඒ අතර විය. ඊට අමතරව, එහි භාණ්ඩාගාරයේ තිබූ රන් කුසලාන සහ රිදී කොතළ මෙන්ම, 1789 ප්‍රංශ විප්ලවය අවස්ථාවේ එහි තිබූ වස්තුව කොල්ලකනු ලැබීමෙන් පසු පල්ලියට ප්‍රදානය කරන ලද දේව මෙහෙවරට අදාළ වටිනා ඓතිහාසික පතපොත ද බේරා ගැනුණි. ඒ සියල්ල චංචල වස්තූන් ය.

ඊට අමතරව, නිශ්චල වස්තූන් ද විය. ප්‍රංශ ඉතිහාසයේ අති උත්කර්ෂවත් අවස්ථාවන්හිදී පමණක් හැඬවෙන, උතුරු සහ දකුණු කුළුණුවල සවිකොට තිබූ යෝධ ඝාණ්ටාර, සියවස් ගණනාවක් තිස්සේ විවිධ ශිල්පීන් විසින් නිමවන ලද 8000 ක් පමණ නලා බටවලින් සමන්විත මහා ඕර්ගනය, සුන්දර රෝස කවුළු, ප්‍රවේශ මාර්ග ආලෝකවත් කළ මධ්‍යතන යුගයේ රංත වීදුරුවලින් සැරසුණු, යෝධ දිදුළණ රෝද ආදිය බේරා ගත නොහැකි විය. ඒවායේ අලාභය කොපමණදැ යි මේ වන විට ගණනය කොට නැත.

ප්‍රතිමාදර්ශනීය ස්ථාන
එහෙත් වඩාත් ප්‍රකට, එසේම වීඩියෝ සහ ඡායාරූප ආශ්‍රයෙන් ලොව පුරා මනාව ප්‍රලේඛගතව ඇති දේවස්ථානයේ මුදුන් කොත, බේරා ගැනීමට නොහැකිව විනාශයට පත්වූ දේවල් අතරින් කැපී පෙනෙයි. 19 වැනි සියවසේදී නිමවන ලද එම කොත, පැරිස් ක්ෂිතිජයේ දර්ශනීය සේයාවන් අතරින් දෙවැනි වන්නේ අයිෆල් කුළුණට පමණි. රාත්‍රී 8.30 පමණ වන විට එය ගිනිගෙන බිමට කඩා වැටුණි.

තවත් විනාශයට පත්වූ දෙයක් වන්නේ, 12 වැනි සහ 13 වැනි සියවසට අයත්, ඊයම් උළුවලින් ආවරණය කළ සුවිශාල වහල දරා සිටි, වටිනා ලීයෙන් තැනූ අති සංකීර්ණ ව්‍යුහයයි. එය පූජණීය වස්තුවක් නොවුණත්, මධ්‍යතන යුගයේ ඉංජිනේරු ශිල්පය පිළිබඳ දුර්ලභ ආදර්ශයක් බව, මධ්‍යතන කලා සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ සහාය මහාචාර්යවරියක් වන මෙරිඩිත් කොහෙන් කියන්නීය. දේවස්ථානයේ සෝබාව තියුණු කළ කැටයම්වලට අමතරව, මධ්‍යතන යුගයේ වන්දනාකරුවන් අතින් ලියැවුණු කුරුටු කී ආදියත් විනාශයට පත්වන්නට ඇතැයි ඈ සැක කරයි. ‘වටිනාම නිධානය වන්නේ ගොඩනැගිල්ලයි. ඒ මධ්‍යතන ව්‍යාපෘතියේ සෙසු සියලු දෑ ඊට දෙවැනි ය. මධ්‍යතන යුගයේ විසු බැතිමතුන්ට එය එක්තරා ආකාරයක මනෝරාජික දර්ශනයකි. ඇත්තෙන්ම එය සදාතනිකව පවතිනු ඇතැයි යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනය වී’ යැයි ඈ කියයි.


උත්කෘෂ්ට සන්ධිස්ථානයක්
‘ඔබ කතෝලිකයෙක් වුණත් නැතත්, ආසන දෙව්මැදුරක් කියන්නේ, ප්‍රජා ප්‍රෞඪත්වයේ උල්පතක්.’ මධ්‍යතන සහ පුනරුද අධ්‍යයන පිළිබඳ අධ්‍යක්ෂිකාවක් සහ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරියක් වන නැන්සි බිසාහා කීවාය. ‘ඒක, තමන් ජීවත් වන නගරයට මිනිස්සුන්ව ආකර්ශනය කරන තැනක්. තමන්ව සිතියමේ යම් තැනක ස්ථානගත කරගන්න තැනක්. ඒක නිසා, අදාළ ආගමේ බැතිමතෙක් නොවී පවා, ඔබට පුළුවන් සමූහයේ කෙනෙකු වශයෙන් ආඩම්බර වෙන්න. ඔබ කවුද කියන එක හඳුනගන්න.’

නෝත්‍ර දාම් යනු පැරිස් වාසීන්ට මෙන්ම ප්‍රංශ වාසීන්ටත් එවැනි උත්කෘෂ්ට ස්ථානයක් වන බැවින් දේවස්ථානය නැවත ප්‍රතිස්ථාපනය කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක් විය හැකිය. මධ්‍යතන යුගයේ අත්තිවාරම එසේම පැවතියත්, කොත නිර්මාණය කළ යුත්තේ 19 වැනි සියවසේ ගෝතික ශෛලියට ද, නැත්නම් ඊටත් කලින් මධ්‍යතන යුගයේ ආරයට ද, එසේත් නැත්නම්, පැරණි ව්‍යුහය සමග ගැළපෙන 2019 නූතනත්වයට අනුගත වන ආකාරයෙන් ද යන්න තීරණය කිරීමට සිදුවනු ඇත.

නෝත්‍ර දාම් දේවස්ථානය පැවති ආකාරයෙන්ම යළි ගොඩනැගීමේ දැනුම සහ ශිල්පීය ඥානය අප සතුව පවතින බව, මධ්‍යතන යුගය පිළිබඳ විශේෂඥවරියක් ද, ‘ලා ග්‍රාස් දුන් කැතිඩ්‍රාල්’ නැමැති කෘතියේ සම කර්තෘවරියක් ද වන වෙරොනික් සුලේ පැවසුවාය. තිබූ සියල්ල ඒ ආකාරයෙන්ම පිරිමිනුම් කොට ත්‍රිමාණ හැඩයට ප්‍රස්ථාරගත කොට ඇති නිසාත්, මුල්කාලීන ගොඩනැගීම් ශිල්පීන් භාවිත කළ නිපුණත්වය සහ මෙවලම් ද අප සතුව ඇති නිසාත්, එය සාර්ථක කර ගත හැකිව ඇති බව ඇගේ විශ්වාසයයි.

– 2019 අප්‍රේල් 18 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ Why History Says Notre Dame will Rise Again නැමැති ලිපියේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි