×

සාගින්නේ මළත් – ප්‍රොපගැන්ඩාව උතුම් : K- Pop, විදෙස් චිත්‍රපට, ඇඳුම් පැළඳුම් හෝ විදෙස් මාධ්‍ය පරිහරණය කළොත් උතුරු කොරියාවේදී මරණ දණ්ඩනය !

විදෙස් චිත්‍රපට, බටහිර ඇඳුම් පැළඳුම් පමණක් නොව, ඉංග්‍රීසියෙන් කුණුහරුපයක් හෝ දෙපැත්ත කැපෙන වචනයක් (slangs) කියන අයෙකුට පවා උතුරු කොරියාවේදී දැන් මරණ දඬුවම හිමි වේ!


පසුගියදා හඳුන්වා දුන් මේ නව නීතියෙන් උතුරු කොරියානු පාලක කිම් ජොන් උන් උත්සාහ කරන්නේ කුමකටද?

ප්‍රකාශිත නීතියක් නොවුණත් උතුරු කොරියාව තුළ මෙය කලක් තිස්සේ නිහඬව ක්‍රියාත්මක වූ නීතියකි. උතුරු කොරියානු ජාතික යූන් මි-සෝ පවසන්නේ දකුණු කොරියානු නාට්‍යයක් නරඹා හසුවූ අයෙකු මරා දමන ආකාරය තමන් මුලින්ම දුටුවේ වයස අවුරුදු 11 දී බවයි. ඒ මිට දශකයට ද පෙර ය. එම තැනැත්තාව මරා දමන ආකාරය නරඹන ලෙසට අසල්වාසීන් සියලු දෙනාට බල කර තිබිණි.

‘‘මරණ හැටි බලන්න ආවෙ නැතිනම් ඒක රාජ ද්‍රෝහිත්වය යටතේ වරදක් වෙනවා..‘‘ දැන් දකුණු කොරියාවේ වෙසෙන ඔහු  බීබීසී පුවත් සේවය සමග පැවසුවේය. ‘‘ඒ කෙනාගෙ ඇස් බැඳල තිබුණු රෙදිකඩ සම්පූර්ණයෙන්ම කඳුළුවලින් තෙත් වෙලා තිබුණා. ඒක මට කවදාවත් අමතක කරන්න බැරි දෙයක්. ඊට පස්සෙ ඔහුව වෙඩි තියල මැරුවා..‘‘

බටහිර හෝ දකුණු කොරියානු චිත්‍රපට කිසිවෙකු සන්තකයේ තිබේදැයි සොයාගැනීමට උතුරු කොරියානු මුර භටයන් දැනටමත් වැඩට බැස තිබේ.

ආයුධ නැති යුද්ධයක්

උතුරු කොරියානුවන් සිය රට තුළ ලොක්ඩවුන් කර තිබෙන්නේ දශක ගණනාවකට පෙර ය. කෝවිඩ් වසංගතය ගැන ලොව අසා නැති කාලයේ පටන් ය. ඔවුන්ට අන්තර්ජාල පහසුකම් නැත. සමාජ මාධ්‍ය නැත. ප්‍රාන්ත කිහිපයකට පමණක් රූපවාහිනිය පෙනේ. ඒවා ක්‍රියාත්මක කළ විට උතුරු කොරියානු නායකයන්ට ජනතාව වෙත ලබාදීමට අවශ්‍ය කරන පණිවුඩ පමණක් ඒවායින් විකාශය වේ. ඒ උතුරු කොරියාවේ ජීවිතයයි. දැන් කිම් ජොන් උන් මරණ දණ්ඩනයෙන් නව නීති ගෙනැවිත් තොණ්ඩුව දමන්නේ මෙවැනි ජීවිත ගත කළ ජනතාවගේ ගෙළට ය.

වඩාත් නිශ්චිතව කියන්නේ නම් දකුණු කොරියානු, ඇමරිකානු හෝ ජපන් සම්භවයක් සහිත මාධ්‍ය, චිත්‍රපට, නාට්‍ය, ගීත හෝ වෙනයම් ඕනෑම දෙයක් සන්තකයේ තබාගෙන හසුවුවහොත් උතුරු කොරියාවේදී හිමිවන්නේ මරණ දඬුවමයි.

මෙයට මද කලකට පෙර රාජ්‍ය මාධ්‍ය ඔස්සේ උතුරු කොරියානු නායකයා ලියුමක් නිකුත් කළේය. එහි සඳහන් වන ආකාරයට තරුණ පරපුර අතර විදේශ භාෂා කතා කිරීම, විදේශ කොණ්ඩා විලාසිතා සහ ඇඳුම් භාවිතා වුවහොත් එය ද දඬුවම් ලැබිය හැකි වරදකි. එවිට උතුරු කොරියානු නායකයාගේ කොණ්ඩා විලාසිතාව..? එය රජයෙන් අනුමත විලාසිතාවකි. ඔවුන් ගැහැණුන් සහ පිරිමින් සඳහා ‘අනුමත කොණ්ඩා විලාසිතා 15 ක්‘ ප්‍රකාශයට පත් කළේ 2014 වසරේදී ය. පහත දැක්වෙන්නේ එය එයින් කිහිපයකි. ඒ අනුව පුරවැසියන් කොණ්ඩය කපන්නේ එයාකාරයෙන්මදැයි සොයාබැලීම ට උතුරු කොරියාවේ ‘ෆැෂන් පොලිසියක්‘ ද සිටියි.

උතුරු කොරියාවේදී කොණ්ඩය කැපිය යුත්තේ මෙසේ ය. එය නීතියකි!

උතුරු කොරියාව සමග පුවත් සඳහා ජාලගත වී සිටින දකුණු කොරියාවේ The Daily NK අන්තර්ජාල මාධ්‍යය අනාවරණය කරන පරිදි K-pop තරුවල කොණ්ඩා විලාසිතා අනුගමනය කළ උතුරු කොරියානු යෞවනයන් තිදෙනෙකු බරපතළ වැඩ සහිත අධ්‍යාපන කඳවුරු වෙත යවා තිබේ.

K-pop විලාසිතා, එනම් දකුණු කොරියානු පොප් සංස්කෘතියේ චරිතවල විලාසිතා මේ වන විට ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ ගෝලීය රැල්ලක් තනමිනි. ශ්‍රී ලංකාවේ පවා ඔවුන් ඉතා ජනප්‍රිය ය. නමුත් උතුරු කොරියාවේදී ඔවුන්ගේ රසිකයෙකු වීම, වධ කඳවුරු වලට යාමට හේතුවකි.

සාගින්නේ මළත් – ප්‍රොපගැන්ඩාව උතුම් !

උතුරු කොරියාවේ දකුණු දිග දේශසීමාවේ සියොල් නුවර පිහිටා ඇත. එය දකුණු කොරියාවේ අගනුවර සේම ආසියාවේ ධනවත්ම නගරවලින් එකක් ද වේ. නමුත් බටහිර අධ්‍යාපනය ලැබූ කිම් ජොන් උන් ඒකාධිපති පුත්‍රයා සිතන්නේ කේ පොප් සංස්කෘතියේ ඇති දිලිසෙන සුළු භෞතික සැප සම්පත් දැකීමෙන් උතුරු කොරියානු තරුණයන් අතර අසහනය වර්ධනය විය හැකි බවකි. ඔවුන් කැරළි ගැසිය හැකි බවකි. ජනතාව සාගින්නේ මළත්, ප්‍රොපගැන්ඩාව ඔහුට උතුම් ය.

උතුරු කොරියාවේ මිලියන ගණනක් දෙනා සාගින්නේ සිටින බව විශ්වාස කෙරේ. හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ වී පැනවූ සම්බාධකවලින් පසුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය එරටට ළඟා වන්නේ චීනයේ පිහිටෙනි. නමුත් වසංගතයේ බලපෑමත් සමග එය ද දැන් සහමුලින්ම පාහේ අත්හිටවී තිබේ.

The Daily NK මාධ්‍යය උතුරු කොරියාවේ අලුත්ම මාරක නීතියේ පිටපතක් ලබාගැනීමට සමත් වී සිටියි. එහි සඳහන් ආකරයට තත්වය මෙසේ ය.

‘‘කිසියම් සේවකයෙක් විදේශ බලපෑමට ඉහත ආකාරයෙන් නතු වී හසු වුවහොත් එම සේවකයාගේ සේවා ප්‍රධානියා (එනම් ෆැක්ටරියේ ප්‍රධානියා) ද දඬුවම් ලැබිය හැක.‘‘

මේ නීති උතුරු කොරියානු තරුණ පරපුරේ සිතක කොණක හෝ දකුණු කොරියාව සහ බටහිර ගැන යම් සිහිනයක් තිබුණා නම් එම සිහිනය පවා කුඩු පට්ටම් කර දමයි.

නව නීතියෙන් පලක් වේවිද?

මිනිස් නිදහස පාලකයන්ගේ නීතිවලින් සහමුලින්ම මර්දනය කළ හැකි වේ යැයි සිතිය නොහැකි ය. උතුරු කොරියානුවෝ කාර් බැටරි ගළවා එය ජෙනරේටරයකට සම්බන්ධ කර එයින් ලැබෙන විදුලියෙන් ටෙලිවිෂනය හොරෙන් බලති.

BBC

වසර කිහිපයකට පෙර දකුණු කොරියානු මාලා නාටක උතුරට ආවේ USB හරහා ය. ඒවා ගල් කැට තරමට රටේ සුබල ය. අපායක ජීවත් වන ඔවුන්ට “Stairway to Heaven” වැනි දකුණු කොරියානු මාලා නාට්‍ය දෙව්ලොවක්ම වේ. මුලින් සිය කුඩම්මා සමගත් පසුව පිළිකාවක් සමගත් සටන් වැද සිටින යුවතියකගේ ආදර කතාව වූ එය උතුරු කොරියානුවන් මුලින්ම නැරඹුවේ වසර 20කට පෙර ය. එයින් පසු ‘පිළිකාව‘ පවා උතුරු කොරියාවේ ජනප්‍රිය විය. චීනයෙන් එන බාල CD සහ DVD ද උතුරු කොරියාවේ සුලබ ය. කෙසේ නමුත් නව නීතියෙන් චීනය නිදහස් ව තිබෙන්නේ ඔවුන් කිම් ජොන් උන්ගේ මිතුරන් වන නිසා ය.

“Stairway to Heaven”

මෙම USB පාස්වර්ඩ්වලින් ආරක්ෂා කර තිබෙන අතර, තුන් වරක් වැරදි පාස්වර්ඩයක් ලබාදුන් විට එහි අන්තර්ගතය ඉබේටම මැකී යයි. තමන් රාජ්‍ය මර්දනයේ ඉලක්කයක් බවට පත් ව ඇති බව හැඟී ගියහොත් උතුරු කොරියානුවන් කරන්නේ තුන් වරක් වැරදි පාර්ස්වර්ඩයක් ලබාදීමයි.

නමුත් මෙයම තොරතුරු බෙදාගැනීමට බාධාවක් බවට ද පත්ව තිබේ. ඇතැම් USB සාදා තිබෙන්නේ එක් වරක් පමණක් එක පරිගණකයකට පමණක් සම්බන්ධ කළ හැකි පරිදි ය.

හදිසියේ පහළ වූ ජාත්‍යාලයක් නොවේ

වාර්තා වන අන්දමට 2002 වසරේදී උතුරු කොරියානු සරසවියකට කඩා වැදුණු ආරක්ෂක භටයන් විසින් CD 20,000 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබිණි. නිරීක්ෂකයන්ට අනුව උතුරු කොරියානු රජය මෙම සිද්ධියෙන් ‘කම්පනයට‘ පත් වූ අතර, ‘විදේශීය බලවේග පරදවාලීම‘ සඳහා නව නීති ගෙන ඒම කඩිනම් කෙරුණේ මෙම සිද්ධියෙන් පසුව ය.

කිම් ගෙයුම් -හ්යොක් 2009 වසරේදී මෙවැනි සිද්ධියකට මැදි වන විට 16 හැවිරිදි විය. ‘නීති විරෝධී වීඩියෝ‘ ළඟ තබාගැනීම හෝ අනුබල දීම වෙනුවෙන් ඔහු අත්අඩංගුවට ගැණිනි. මෙහිදී සැබවින්ම සිදුව තිබුණේ දකුණු කොරියානු කේ පොප් මියුසික් වීඩියෝ සහිත ඩීවීඩී තැටි කිහිපයක් ඔහු විසින් සිය මිතුරෙකු හට ලබාදී තිබීමයි. චීනයේ සිට හොර රහසේ ඒවා ගෙනැවිත් දී තිබුණේ ඔහුගේම පියා ය!

කේ පොප් බලන නිසා ඔහුට ‘ළමයෙකු‘ නොව වැඩිහිටියෙකු සේ සලකා දඬුවම් කෙරිණි. ප්‍රශ්න කිරීම සඳහා රහස් කාමරයක් වෙත ගෙන ගිය අතර, මුරභටයන් ඔහුට නිදාගන්නට දුන්නේම නැත. නින්ද අහිමි කිරීම වධක රාජ්‍යයන්ගේ ජනප්‍රියම දඬුවම් ක්‍රමවේදයකි. දින 4 ක් එකදිගට ඔහුට පයින් ගැසීම සහ පහරදීම සිදුවිය. සිය පියාව කිසි විටෙක පාවා නොදීමට ඔහු පරිස්සම් විය. මිතුරන් කී දෙනෙකුට ‘කුණුහරුප‘ පෙන්නුවේදැයි ඔහුව දිගින් දිගටම ප්‍රශ්න කෙරිණි. ‘‘මම හිතුවෙ මාව මරල දායි කියලා‘‘ යැයි ඔහු අද කියයි.

පියොන්ගියැන්ග් හි ප්‍රභූ පවුලකට අයත් වූ නිසා පියා ඔහුව ආරක්ෂක අංශයට අල්ලස් ලබාදී බේරාගැනීමට සමත් ව තිබිණි. නමුත් කිම් ජොන් උන්ගේ නව නීතිය යටතේ මෙවැනි දෙයක් පවා කළ නොහැකි වනු ඇත. නව නීතිය යටතේ ‘පැය දෙකක් හෝ ඊට වඩා නීති විරෝධී දේ නරඹා‘‘ හසුවුවහොත් ශ්‍රම කඳවුරක වසර 3 ක් ගත කිරීමට සිදුවනු ඇත. මෙම ශ්‍රම කඳවුරු වඩාත් සමාන වන්නේ වධ කඳවුරුවලට බව නොකිව මනා ය.

කිම් ගෙයුම් -හ්යොක් සහ යූන් මින් සෝ අද වෙසෙන්නේ දකුණු කොරියාවේ ය. (College)

ලැබුණු පළමු අවස්ථාවේදීම දකුණු කොරියාවට පළා කිම් ගෙයුම් -හ්යොක් දැන් වෙසෙන්නේ සියොල් නුවර ය. ඔහු සමග යූන් මින් සෝ ද උතුරු කොරියාවේ අදහස් මර්දනය ගැන තොරතුරු ලබාදෙයි. එදා උතුරු කොරියාවේදි හොරෙන් Stairway to Heaven නැරඹූ ඇය පසුව රටෙන් පළා ඇවිත් දකුණු කොරියාවේදී මෝස්තර නිර්මාණ ශිල්පිනියක බවට පත් ව සිටියි.

නමුත් උතුරු කොරියානුවන් අති බහුතරය ඔවුන් මෙන් වාසනාවන්ත නැත. උතුරු කොරියාවේදී සාමාන්‍ය විදේශීය නාට්‍යයක් හෝ කේ පොප් ගීතයක් නැරඹූ විට ශ්‍රී ලංකාවේදී අසභ්‍ය වීඩියෝ තැටි බලා හසු වූ කලෙක මෙන් කුදලාගෙන යනු ලැබේ. සිද්ධිය වෙනස් වුවත් මූලිකාංගය සහ මූලික අදහස නොවෙනස් විය හැකිය. ‘අදහස් අයිතිය, තොරතුරු අයිතිය‘ ජනතාව සතු වන විට උන් කැරළි ගසන්නට ඉඩ තිබේ. බාහිර ලෝකයෙන් වෙන් කර ඇති විට ළිං මැඩියන් කැරළි ගසන්නේ නැත. ලෝකය ගැන දැන ගැනීම ඉතා භයානක ය. එය පුරවැසියන්ට සිහින ලබාදෙයි. මර්දන යන්ත්‍රෙයන් පාලනය වන රටවලදී සිහින දැකීම පවා තහනම් ය. එනිසා හොඳම දේ ‘විදේශීය සතුරු කුමන්ත්‍රණ‘වලට රට තුළට පිවිසෙන්නට ඉඩ නොතැබීමයි. උතුරු කොරියාව පමණක් නොව බොහෝ රටවල් මේ වන විට අඩු වැඩි වශයෙන් කරමින් සිටින්නේ එයයි. එවැනි සටන් පාඨවලට හුරේ දමන දේශපාලක අතවැසියන් ද ඒ රටවල සිටින තාක් කල් මිනිස් නිදහස සිහිනයකි.

මූලාශ්‍රය –

BBC – Why Kim Jong-un is waging war on slang, jeans and foreign films



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි