×

‘‘තලෙයිබානයට ඔබව මෝඩයන් කරන්න ඉඩ දෙන්න එපා!‘‘ ඇෆ්ගන් තරුණියක් UN අමතමින් කියයි

සොනීටා අලිසාදේ සිය පවුල සමග ඇෆ්ගනිස්ථානයෙන් පළා ආවේ මෙයට දශක දෙකකට පමණ පෙර තලෙයිබාන පාලනයට ඇෆග්නිස්ථාන ප්‍රථම වරට නතු වන විට ය.


මෙවර දෙවන වතාවට ද තලෙයිබානය විසින් කාන්තාවන්ට රැකියා කිරීමේ සීමා පනවමින් ඔවුන්ට පාසල තහනම් කරන විට ය.

දැන් ඇය, විදෙස් රටක ජීවත් වෙමින් ඇෆ්ගන් රැප් ගායිකාවක සහ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක බවට පත් ව තිබේ. අද දිනයේ ජගත් සංවිධානය අමතමින් ඇය කියා සිටියේ මෙයයි. ‘‘තලෙයිබානයට ඔබව මෝඩයන් බවට පත් කරන්නට ඉඩ දෙන්න එපා!‘‘

‘‘අපේ මිනිස්සුන්ට මොනවද ඉතිරි වෙලා තියෙන්නෙ? අවුරුදු 20 ක් තිස්සේ ලබාගත් ජයග්‍රහණවලින් මොනවද ඉතිරි වෙලා තියෙන්නෙ? ප්‍රවෘත්තිවල පෙනෙන තලෙයිබාන් වෙස්මුහුණුවලට රැවටෙන්න එපා.‘‘

මේ දිනවල පැවැත්වෙන ජගත් සංවිධානයේ ඉහළ පෙළේ මහ සභා රැස්වීමට වර්චුවල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ඇය ලෝක නායකයන්ගෙන් එසේ ඉල්ලීමක් කළාය.

ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇය ඉල්ලා සිටියේ තලෙයිබානය නීත්‍යානුකූල ආණ්ඩුවක් ලෙස පිළිනොගන්නා ලෙස ය. තවද කාන්තාවන් හා දරුවන් ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, දැරියන්ට පාසල් අධ්‍යාපනය තහවුරු කරන සහ ඇෆ්ගන් ජාතිකයන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් කර ගන්නා ඇෆ්ගනිස්ථානයක් වෙනුවෙන් කටයුතු කරන ලෙස ය.

‘‘මේ හැම දෙයක්ම අපි දන්නා දේවල් බව පෙනෙනවා. නමුත් ඒවා කළ යුතු දේවල් ද වෙනවා. ප්‍රශ්නය තමයි, කවුද ඒවා කරන්නේ කියන එක..‘‘ යැයි ඇය පැවසුවාය.

තමන් 1996-2001 පාලනයට වඩා බෙහෙවින් වෙනස් වී ඇති බව පැවසුවත්, තලෙයිබානය පෙර යුගයටම නැවත යමින් සිටින බව දැරියන්ට පාසල් අධ්‍යාපනය තහනම් කිරීම යනාදී තීරණවලින් පෙනේ. මෙවැනි දේ සම්බන්ධයෙන් තලෙයිබානය වගවීමට හසු කර ගන්නා බව පැවසුණත්, එය සිදුකරන්නේ කෙසේද යන්න ගැන තවමත් පැහැදිලිතාවයක් නැත.

ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පසුගිය මාසයේ පවසා තිබුණේ තලෙයිබානයේ රාජ්‍යත්වය පිළිගැනීම රඳා පවතිනු ඇත්තේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම ප්‍රමුඛ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ සියලු දෙනා ඇතුළත් වන ආණ්ඩුවක් පිහිටුවීම යන කරුණු මත බවයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානී මිෂෙල් බැක්ලේ මෙම ඇෆ්ගන් තරුණිය ජගත් සංවිධානය ඇමතූ දිනයේදීම කළ ප්‍රකාශය පහත දැක්වේ.

‘‘90 දශකයේ ස්ත්‍රීන් හා දැරියන් සම්බන්ධයෙන් පැවති තලෙයිබානයේ සාහසික සහ ක්‍රම පද්ධතිකමය මර්දනය වෙත තලෙයිබාන පාලනය ආපසු යමින් සිටින බවට සත්‍ය සහ ප්‍රත්‍යක්ෂ භීතියක් ඇෆ්ගන් කාන්තාවන් අතර පවතිනවා..‘‘

සොනීටා අලිසාදේ මේ වන විට ලෝක ප්‍රකටව සිටින්නේ ළමා විවාහ ඇතුළු ඇෆ්ගන් ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගෝලීයව හඬ නගන ක්‍රියාකාරිනියක් ලෙස ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි