×

2019 වසරේ ලොව හොඳම ගුරුවරයා කෙන්යාවේ පූජකයෙකි

එවැනි ගුරුවරු අද කාලයේ ඇත්තෙන්ම විරලය. වසර තුනක් පුරා ඔහූ ලද ගුරු වැටුපෙන් 80%ක්ම පාසල වෙනුවෙන්, දරු දැරියො වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවා ඇත.


36 හැවිරිදි පීටර් මොකායා ටබීචි, කෙන්යාවේ “ප්වානි” නම් අති දුෂ්කර ගම්මානයේ කෙරිකෝ ද්විතීයික පාසලේ විද්‍යා විෂය ගුරුවරයාය. එසේම ඔහූ ප්‍රදේශයේ සිටින ෆ්‍රැන්සිස් නිකායික පාදිලිවරයෙකි. ප්වානි ගම්මානය පිහිටියේ නයිරෝබි අගනුවරින් ඊසාන දෙසට වන්නට ඇති නකුරු දිස්ත්‍රික්කයේ රිෆ්ට් වැලි නිම්නයේය.

කෙරිකෝ දුෂ්කර පාසලක් වන්නේ සිසු-ගුරු අනුපාතය 58:1 වැනි අගයක පැවතීමත්, එකදු පරිඝණකයක් හෝ මඳවේගී අන්තර්ජාල පහසුකම්වත් නොමැති වීමත් හා ඒ සියල්ලන්ටම වැඩියෙන් ග්‍රාමීය සිසුන්ගේ නිවෙස්වල පවත්නා ආර්ථික දුර්වලතා හා ප්‍රදේශයේ නිතරම පවත්නා දරුණු නියඟය නිසාවෙනි.

ගමේ දරුවන් බොහොමයක් දෙනා දුප්පත්ය නැතහොත් මාපියන් නොමැතිව අනාථ වූවන්ය. එනිසාම දරුවන් කිලෝ මීටර 7ක පමණ දුරක් ඇවිදගෙන පාසලට පැමිණෙන්නේ සාගින්නේය. හාමතේය. තව ද මත්ද්‍රව්‍ය භාවිතය, බාල වයස් විවාහ හා ගැබ් ගැනීම් නිසා පාසල් ජීවිත විශාල වශයෙන් අඩාල කර ගනී.

ටබීචි විසින් මෙපමණ බාධක තිබියදීත් පාසලෙන් දක්ෂ දරු පරපුරක් නිර්මාණය කරන්නට ඇප කැප විය. පාසල් විද්‍යා දැනුම කණ්ඩායම, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග නියෝජනයට පවා සුදුසු වන පරිදි සංවර්ධනය කර ඇත.

2018 වසරේ පැවැත්වුන කෙන්යානු විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයට සහභාගී වීමට ආරාධනාවක් ලැබීම මත ඔවුන් විසින් ඉදිරිපත් කළ අන්ධ හා බිහිරි පුද්ගලයන්ට වස්තූන් මැන ගතහැකි උපකරණයට ප්‍රථම ස්ථානයද හිමි විය.

ගණිත විද්‍යා කණ්ඩායම පවා පසුගිය දිනවල විශේෂ තරගාවලියකට සුදුසුකම් ලබාගත්තේය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා හි පැවැත්වූ ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු තාක්ෂණ ප්‍රදර්ශනයටයි. මෙහිදී නව නිපැයුම් ඉදිරිපත් කල හැක්කේ ලෝ පුරා තෝරාගත් පාසල් කිහිපයකට පමණයි. අප්‍රිකානු මහාද්වීපීක දුෂ්කර පාසලක් මෙම තරගාවලියට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙයයි.

එසේම ටබීචී ඇතුළු කණ්ඩායම, රාජකීය රසායන විද්‍යා සමාජය විසින් පිරිනමනු ලබන සම්මානයකටද හිමිකම් කියයි. දේශීය වගා ක්‍රමය හා සම්බන්ධ ස්වාභාවික දෑ උපයෝගි කරගැනීම මගින් විදුලිය උත්පාදනය කිරීම වෙනුවෙන් එම සම්මානය දිනාගන්නා ලදී.

ඔහූගේ කැපවීමත්, පරිශ්‍රමයත් හා ශිෂ්‍යයන් වෙත තබා ඇති විශ්වාසයත් නිසා ජයග්‍රහණ රැසක් ලබා ඇති සේම දරු කැලට ජාත්‍යන්තරයට යාමට අගනා අවස්ථාවක්ද ලබා දී ඇත.

පාසලේ තවත් ගුරුවරුන් හතර දෙනෙකුත් සම්බන්ධ කරගෙන පාසල් කාලයෙන් පසු විෂයෙන් විෂයට අමතර පංති පැවැත්වීමට කටයුතු කල ටබීචි එතුළින් දුර්වල සිසුන්ට මහඟු අත්වැලක් සැපයුවේය. සති අන්තයේ සිසුන්ගේ නිවෙස්වලට ගොස් දෙමාපියන් මුණගැසී, දරුවන් තුළ ඔහූ හඳුනාගත් සැඟවුණු කුසලතා සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා දරුවන්ට ඒ තුළින් රුකුලක් ගෙන දීමටත් ටබීචි අමතක කලේ නැත. ඔහූ ඒ සියල්ල කලේ ගුරුවරයෙකු තුළ උපන් මහත් වූ ආදරයකිනි.

වසර තුනක් පුරාවට පාසල තුළ ඇති කර ගත් විනය පුනරුදය හේතු කරගෙන දැන් පාසලට බඳවාගැනෙන ප්‍රමාණයද 400ක් දක්වා දෙගුණ වී තිබීම විශේෂ කාරණාවකි. 2017 දී මේ පාසලෙන් උසස් පාසලට යාමට සුදුසුකම් ලැබුනේ පනස් නවදෙනෙකුගෙන් දහසය දෙනෙකුට පමණි. නමුත් 2018 වසරේදී 26 දෙනෙකුම උසස් පාසලකට හෝ විශ්ව විද්‍යාලයකට ඇතුළත් විය. මෙවර එම තත්වය තවත් දෙගුණයකින් ඉහළ යතැයි අපේක්ෂා කෙරේ.

“මගේ සිසු සිසුවියන් දැනුමෙන්, හැකියාවෙන් හා ආත්ම විශ්වාසයෙන් වැඩෙන හැටි දැකීම තරම් සතුටක් මේ ගුරු ජීවිතයේ තවත් නෑ” වරෙක ටබීචි එසේ පවසයි.

එවැනි ගුරුවරු අද කාලයේ ඇත්තෙන්ම විරලය. වසර තුනක් පුරා ඔහූ ලද ගුරු වැටුපෙන් 80%ක්ම පාසල වෙනුවෙන්, දරු දැරියො වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවා ඇත. දරුවන් උදෙසා පාසල සුන්දරවූත් තාක්ෂණිකවූත් පාරාදීසයක් කිරීමේ ඔහූගේ දායකත්වය අනූපමේය ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මධ්‍යස්ථානය කරගත් “වාර්කී” පදනම පස්වන වරටත් සංවිධානය කළ ලොව හොඳම ගුරුවරයා තේරීමේ වැඩසටහන මෙවරත් අති උණුසුම් ආකාරයෙන් සිදු වුණා. අවසන් වටයේ හොඳම ගුරුවරුන් දහදෙනා අතරට

01.ඇන්ඩෲ මොෆාට් – එක්සත් රාජධානිය

  1. ඩේසි මර්ටන්ස් – නෙදර්ලන්තය
  2. ඩෙබෝරා ගාරොෆාලෝ – බ්‍රසීලය
  3. හිදෙකසූ ෂෝතෝ – ජපානය
  4. මාටින් සැල්වෙති – ආර්ජන්ටිනාව
  5. මෙලීසා සැල්ගුවේරෝ – ඇ.එ.ජ.
  6. පීටර් ටබීචි – කෙන්යාව
  7. ස්වරූප් රාවල් – ඉන්දියාව
  8. ව්ලැඩිමර් අප්කසාවා – ජෝර්ජියාව
  9. යශෝධා සෙල්වකුමාරන් – ශ්‍රී ලංකාව
    යන අය තෝරාගෙන සිටි අතර,

ජූරියේ අවසාන තීරණය අනුව කෙන්යාවේ ෆ්‍රැන්සිස් නිකායේ පූජකයා වූ පීටර් ටබීචි එම වැඩසටහනේ ගෞරවනීය ජයග්‍රාහකයා විය. ඔහූට ඒ වෙනුවෙන් ඇ.ඩොලර් මිලියනයක මුදලක් හිමි වූ අතර ( ලංකාවේ මුදලින් කෝටි 16.5 ක්) ලැබුණු අතර ටබීචි පැවසූයේ ඔහූගේ කැපකිරීමට මේ සම්මානය පමණක් ප්‍රමාණවත් බවයි. සියලූම මුදල තම පාසලට පරිත්‍යාග කරන බවත් ඒ තුළින් පාසල තව තවත් දරුවන් උදෙසා යහපත් තැනක් වෙනු දැකීම තමාගේ එකම සතුට බවත් ය.

වාර්කී පදනමේ සභාපති සනී වාර්කී විසින් ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කළ අතර සම්මානය හා ත්‍යාග මුදල පිරිනැමීමට ආරාධනා ලැබුණේ එරට අගමැති හා උප ජනාධිපති වන ෂෙයික් මොහම්මද් බින් රෂීඩ් අල් මක්තෝම් කුමරුන් හටය.

සනී වාර්කී ලෝ පුරා සම්මානයට හා ගෞරවාදරයට පත් ප්‍රසිද්ධ ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙක් හා සමාජ සේවකයෙකි. මෙවැනි වැඩසටහන් හරහා ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ව සොයමින් ඔවුන්ව ඇගයීමට හේතුව වන්නේ සනී වාර්කී ගෙ දෙමාපියන් ගුරුවරුන් වීමය. සාමාන්‍ය ගුරු පවුලකින් උපත ලැබූ සනී අද මෙතරම් ප්‍රබල ව්‍යාපාරිකයෙක් හා ධනවතෙක් වීමට හේතුව ගුරු මාපියන්ගෙන් ලද ශික්ෂණය ආකල්ප හා උපදේශයන් යැයි ඔහූ නිතරම පවසන දෙයකි.

ටබීචිගෙ ජයග්‍රහණය සම්බන්ධයෙන් අතිශය ප්‍රීතියට පත් කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටාද වීඩියෝවක් මඟින් සුබ පතා තිබේ. මෙවැනි ගුරුවරු ගැන අසන්නට ලැබීම විරල වන අතර අප රටේද මෙවැනි විරල ගණයේ මිනිසුන් සිටින බැව් අමතක නොකළ යුතුය.

මූලාශ්‍ර ලිපි

www.google.com/amp/venturesafrica.com/kenyas-peter-tabichi-wins-1-million-global-teacher-prize/amp/

චතුර රුවන් වීරක්කොඩි

.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි