×

කැත මිනිසුන්ගේ අගනුවර – ඉතාලියේ පියොබ්බිකෝ

‘කැත මිනිසුන්‘ යැයි තවත් කෙනෙකු හැඳින්වීම ම සදාචාර විරෝධී වුවත්, කැත බව සමරන නගරයක් මේ ලෝකයේ තිබේ. එය හැඳින්වෙන්නේ ‘කැත මිනිසුන්ගේ අගනුවර‘ (world capital of ugly people) යනුවෙනි. ඒ ඉතාලියේ පියොබ්බිකෝ නගරයයි.


වසර 140 ක් තිස්සේ ඔවුහු ‘කැත බව‘ (“ugliness”) සමරති. ඒ නිසාම මේ නගරය ලෝක ප්‍රසිද්ධියට ද පත්ව තිබේ.

දැන් එය සැමරීම ම, උතෝපියානු පරමාදර්ශයක් ලෙස ලෝකයේ අලුත් සමාජ ව්‍යාපාරයක් ද නිර්මාණය කරමින් තිබේ.

ඇල්පයින් කඳුවැටිය සහ ආද්‍රියාතික් මුහුදට මැදිවූ නිම්නයක පිහිටා තිබෙන මෙම මධ්‍යම ඉතාලියානු නගරය, මධ්‍යධරණී යුගයේ කඩවසම් කම තවමත් දරා සිටියි. එය මහා පාෂාණ ගොඩනැගිලිවලින් ද, සරුවට වැඩුණු කැලෑ රොදවල්වලින් ද සමන්විත ය. ජනගහනය 2000 ක් පමණි. මේ නුවර පින්තූරයක් තරමටම ලස්සන ය. නමුත් මේ සියල්ල පරයා, පියාබ්බිකෝ නගරයේ මිනිසුන්ගේ සැමරිය යුතු තරම් අමුතු පෙනුමක් තිබේ.

BBC Travel

BBC Travel

“The Ugly Club”

“The Ugly Club”- කැත මිනිසුන්ගේ සමාජය/සමාජ ශාලාව යන අර්ථය දෙන Club dei Brutti ඔවුන් විසින් පිහිටුවා ගත්තේ 1879 වසරේදී ය. සියලු නගරවැසියන් මේ සමාජයේ සාමාජිකයන් බව කිව හැක.

La Travola Marche

La Travola Marche

‘‘මිනිසෙක් යනු ඔහු සැබවින්ම කවුද යන්න මිස ඔහුගේ පෙනුම කෙසේද යන්න නොවේ..‘‘ මේ ඔවුන්ගේ ආදර්ශ පාඨයයි. මේ නුවර වෙසෙන කිසිම අයෙක්, ඔවුන්ගේ නගරයේ විරුදාවලිය ගැන ලැජ්ජා වන්නේ නැත. ‘‘එය අපට ප්‍රශ්නයක් නෙවෙයි. එය යුතෝපියානු අදහසක්‘‘ යැයි ඔවුහු කියති. මේ වන විට ඔවුන් විසින් ලෝකයේ ස්ථාන 25 ක් මූලික කරගෙන ලෝක සංසදයක් ද පිහිටුවා ගෙන තිබේ. එහි නම “World Association of Ugly People” ය.

 Club dei Brutti (“The Ugly Club”)

Club dei Brutti (“The Ugly Club”)

මේ ක්ලබ් දෙයි බෘෘටි සමාජ ශාලාව මුල් කාලයේ පිහිටුවාගනු ලැබුවේ නගරයේ තනිකඩ යුවතියන්ට සුදුසු සහකරුවන් සොයාදෙන තැනක් ලෙස ය. කෙමෙන් එය පරිණාමය වන්නට පටන් ගත්තේය. පසුව නුවරවාසීන් ඒකමතිකව තීරණය කළේ මෙය, කෙනෙකුගේ බාහිර පෙනුම නොව වඩාත් වැදගත් වන්නේ ඒ කෙනාගේ අභ්‍යන්තර සුන්දරත්වය බව සමාජයට සිහි කැඳවන තැනක් බවට පත් කරන්නට ය. වසර 2007 දී ඔවුහු නගර චතුරස්‍රයේ කැත මිනිසුන් සඳහා වෙන් වූ ප්‍රතිමාවක්ද නිරාවරණය කළහ.

මේ සමාජයේ සාමාජිකයන් වීම අසීරු දෙයක් නොවේ. එහි සිටින ජ්‍යේෂ්ඨ සාමාජිකයන් හෙවත් විනිසුරුවරුන් විසින්, ඔබේ කොතරම් බාහිර පෙනුමෙන් අවලස්සනදැයි තක්සේරු කර ඔබව සාමාජිකත්වය සඳහා තෝරාගනු ඇත. ‘විශේෂයක් නැත‘ යන්නෙහි සිට ‘අසාමාන්‍ය ලෙස කැත‘ යන අවස්ථාව දක්වා මේ පරාසය විහිදෙයි.

ඔබ – ඔබ වන්න..

සැබවින්ම මේ නුවර මිනිසුන් සිත් කරදර කරගන්නේ තමන්ගේ බාහිර පෙනුම ගැන නොවේ. අභ්‍යන්තරයෙන් සුන්දර වීම සඳහා ය. තමන්ගේ පෙනුම ගැන සෙස්සන් සිතන දේ පිළිබඳව ද ඔවුහු වද නොවෙති.

සෑම සැප්තැම්බර් මාසයකම පළමු ඉරිදා ලොව පුරාම සිටින මේ සමාජයේ සාමාජිකයෝ වාර්ෂික ‘අවලස්සන සැණකෙළිය‘ Festival of the Ugly සඳහා මහත් අභිමානයෙන් යුතුව සහභාගි වෙති. මෙම සමාජයේ සභාපතිවරයා සහ නව සාමාජිකයන් තෝරාගැනීම සිදු කරන්නේ එදිනට ය. ඉන්පසු ඔවුහු සෝස් යහමින් යෙදූ ට්‍රෆල්ස්, පොලෙන්ටා සහ පැස්ටා සමග දැවැන්ත භෝජන සංග්‍රහයක් ද පවත්වති.

ඉතාලිය, සුන්දර ගැහැණුන් පිරිමින් සඳහා නම් දැරූ දේශයකි. ඇඳුම් ආයිත්තම්වල පටන් සුවඳ විලවුන් දක්වා වූ සුන්දර බාහිර පෙනුමක් වෙත ඉතාලියානුවෝ දැඩි සේ අවධානය යොමු කරති. bella figura  හෙවත් සුන්දරත්වය අවධාරණය කිරීම (“beautiful impression”) ඔවුන්ගේ ජීවිතවල ආදර්ශ පාඨයක් බඳු ය. නමුත් ඒ සමස්ත  ඉතාලියේ හෝ සමස්ත ලෝකයේ තත්වය මේ පුංචි නුවරට අදාළ නැත. ඉතාලියේ මේ කොණ වෙනස් ය. අමුතු ය. එය ‘ඔබ ඔබ වීම‘ සහ ‘අසාමාන්‍ය වීම‘  වඩා දීප්තිමත් කලාපයක් බව අපට නැවත වරක් පසක් කර දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි