වෙනත් වචනවලින් පවසන්නේ නම්, ගතවූ දෙවසරක කාලය තුළ ලෝකයේ ආහාර ආරක්ෂාව හෙවත් ෆුඩ් සිකියුරිටි, දෙගුණයකින් පල්ලම් බැස තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙසට බිහි වී තිබෙන්නේ සාගින්නෙන් පසුවන ලෝකයකි.
ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මේ අදහස් පළ කළේ ආහාර ආරක්ෂාවේ අර්බුදය පිළිබඳ ලෝක නායකයන් සමග පැවති රැස්වීමකදී ය.
මේ අනුව, කොරෝනා වෛරස් වසංගතය ලෝකය වෙළා ගැනීමට පෙර ආහාර ආරක්ෂාව පිළිබඳ අර්බුදයට ලෝකයේ මිලියන 135 ක ජනතාවක් මුහුණ දී සිටි අතර, එය මේ වන විට මිලියන 276 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, සාගතමය තත්වයන් තුළ ජීවත් වන ජනතාව 2016 සිට මේ දක්වා 500%කින් ඉහළ ගොස් ඇති අතර, දැන් ලෝක ජනගහනයෙන් ලක්ෂ 5 කට අධික සංඛ්‍යාවක් සාගතයට හසුව සිටිති.
”අපට යාමට තිබෙන්නේ දිගු අසීරුකර මාර්ගයක ය” යැයි ද අන්තෝනියෝ ගුටරෙස් ජගත් සංවිධාන ප්‍රධානියා තවදුරටත් පැවසීය.
Food security හෙවත් ආහාර ආරක්ෂාව කියන්නේ මොකක්ද?
ආහාර ආරක්ෂාව නූතන ලෝකයේ දැඩි අවධානයක් දිනාගත් මාතෘකාවකි. ආහාරවල සුබලත්වය සහ එම ආහාරවලට ප්‍රවේශ වීමට තනි පුද්ගලයන්ට ඇති හැකියාව එමගින් මනිනු ලබයි. ජගත් සංවිධානයේ ආහාර ආරක්ෂාව පිළිබඳ කමිටුවක් 1974 වසරේ පටන් ක්‍රියාත්මක ය. ඔවුන්ගේ අර්ථ දැක්වීමට අනුව මෙම ආහාරවලට ඇති ප්‍රවේශය භෞතිකව, සමාජයීය වශයෙන් සහ ආර්ථික වශයෙන් පැවතිය යුත්තකි. පන්තිය, ස්ත්‍රීපුරුෂ සමාජභාවය හෝ ආගම වැනි බෙදුම්වලින් තොරව සැමට එම ප්‍රවේශය ලබාගත හැකි වීම මෙහි වැදගත්ම ලක්ෂණයයි.
වසර දහස් ගණනක් මුළුල්ලේ ලෝකයේ හැඩතල වෙනස් කළ එක් ප්‍රධාන සාධකයක් වූයේ සාගින්නයි. පුරාණ චීනය සහ පුරාණ ඊජිප්තුව, සිය වැසියන් සාගින්නේ පසුවන හැම විටම මධ්‍යම සංචිතයේ තබාගෙන තිබූ ආහාර, තොග පිටින් මුදා හැරි බව ඉතිහාසයේ සඳහන් වේ.
කෙසේ නමුත් මේ වන විට ලෝකයේ එබඳු පාලකයන් ඉතා විරල අතර, සිටින්නේ, ලෝකයේ හතර දිග්භාගයේ මිනිසුන් සාගින්නෙන් මැරෙමින් වැටෙද්දී තමන්ට උවමනා පමණටත් වඩා ඉස්මුරුත්තාව හැදෙන තෙක්ම කා බී ”ඒක උන්ගෙ කරුමේ’යැයි පවසන වරප්‍රසාදී කොටස් ය.
මේ අතර, ලෝකයේ විශාලතම තිරිඟු පිටි අපනයනකරුවා වූ යුක්රේනය මේ වන විට මැදි ව සිටින දැවැන්ත යුද්ධය තුළ මේ තත්වය තවත් දරුණු වනු ඇත.
මේ අතර, ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ද පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණේ 2022 අගෝස්තු මාසයේ පටන් මේ රට තුළ ද ආහාර හිඟයක් ඇති විය හැකි බවයි. දැනටමත් ජනතාව අත්‍යාවශ්‍ය ආහාර සඳහා පෝලිම් ගැසී ඇති වකවානුවක් තුළ මේ තත්වය විසින් රට කොතරම් සාගතයකට ඇද දමනු ඇත්දැයි කියන්නට තවම කල් වැඩි ය.
Main photo: IFPRI