×

ලෝකයේ සුන්දරම – හුරුබුහුටිම සුනඛයා ‘බූ‘ හද පැලී මිය යයි

බූ- එහෙමත් නැතිනම් world's cutest dog," මේ ලෝකයෙන් සමුගෙන තිබනෙවා. ලෝකය කොතරම් ඔහුට ආදරය කළත්, ඔහුගේ සහකාරිය නැති ශෝකය ඔහුට දරාගන්නට බැරි වුණා


බූ – Boo එහෙමත් නැතිනම් ලෝකයේ හුරුබුහුටිම, ලෝකය වැඩියෙන්ම ආදරය කළ,  world’s cutest dog යනුවෙන් හැඳින්වූ පොමරේනියන් සුනඛයා නින්දෙන්ම අවසන් ගමන් ගිහින්.

වයස අවුරුදු 12 ක් වන බූ, ජීවිතයෙන් වැඩි කොටස ගත කළේ සමාජ ජාල තරුවක් විදිහට. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ ජාලවල බූ තරම් ජනප්‍රියත්වයට පත්වුණු සුනඛයෙක් නොසිටි තරම්.

පසුගිය සිකුරාදා නින්දෙන්ම අවසන් නින්දට ගිය බූ ගැන ඔහුගෙ අයිතිකාරයන් මෙහෙම කියා තිබෙනවා. ‘‘බූ, එයාගෙ හොඳම යාළුවා වන බඩී හොයාගෙන ගිහින්..“

බඩී කියන්නෙ බූ එක්කම නිතරම හිටිය බූගෙ පොමරේනියන් යෙහෙළිය. ඇය 2017 අවුරුද්දෙ මිය ගියා. ඔවුන් දෙදෙනා නිතරම හිටියෙ එකට. වෙන එකක් තියා, බූගෙ ෆේස්බුක් පිටුවෙත් බූගෙ ප්‍රොෆයිල් පින්තූරය විදිහට තිබුණෙ බඩීගෙ සහ බූගෙ දෙන්නාගෙම පින්තූරයක්.

‘‘බඩී මිය ගිහින් ටික කාලයක් යද්දි බූට හදවතේ ප්‍රශ්න ඇති බව පෙනුණා.. අපි හිතන්නෙ බූගෙ හදවත දුර්වල වුණා. බූගෙ හදවත පැළුණා කියලත් කියන්න පුළුවන්“ යැයි බූගෙ හිමිකරුවන් කියනවා.

බූට ෆේස්බුක් එකේ මිලියන 16 ක අනුගාමිකයන් පිරිසක් හිටියා. ඉස්ටර්ග්‍රෑම් හි 560,000 ක රසිකයන් පිරිසක් හිටියා.

Boo: The Adventures of the Cutest Dog in the World යනුවෙන් බූ ගැන පොතක් ද ලියැවී තිබුණා. දින දසුන්වල බූගේ ඡායාරූප පළ වුණා. බූ වැනි පුළුං පිරවූ සෙල්ලම් බඩුත් ලොව පුරා දකින්නට ලැබුණා.

Gund
බූ ආදර්ශනය කරමින් තැනුණු සෙල්ලම් බඩු කන්දරාව අතරින් එකක්

බූගේ වියෝවෙන් පසුව ඒ ගැන ලැබෙන ශෝක පණිවුඩ, සුරතල් සුනඛයෙකුට මිනිස් සමාජය තුළ කොතරම් වෙනසක් කළ හැකිදැයි සනාථ කරනවා.

මේ පිළිකා රෝගියෙක් බූගේ අභාවය ගැන එවා තිබූ පණිවුඩයක්.

‘‘ගතවූ අවුරුදු 7 ක කාලය පුරාම මගේ ජීවිතයේ කේන්ද්‍රය වෙලා තිබුණෙ ආදරණීය බූ.‘‘සාරා ගුරියන් නමැති කාන්තාව එසේ ලියා තිබුණා. ඇය සත් අවුරුද්දක් තිස්සේ පිළිකාවක් සමග සටන් කරන කෙනෙක්. ‘‘මගෙ සහෝදරිය දවසක් මම රෝහලේ ඉන්නවිට සෙල්ලම් බූ කෙනෙක් ගෙනැවිත් දුන්නා. මා සැත්කමකට ලක්වන හැම වෙලාවකදිම බූ මා ළඟට එනවා. බූ නිසාම මම ලස්සන කළු පාට පොමරේනියන් පැටියෙක් ගෙදර අරන් ගිහින් හදන්න පටන්ගත්තා. ලිට්ල් ලුයිගි කියා මම එයාට නම තැබුවා. දැන් මාව බලාගන්නෙ ලිට්ල් ලුයිගි.“

බූ කියන්නෙ ලොව පුරා දහස් සංඛ්‍යාත දෙනාගේ ජීවිත වෙනස් කළ, ඔවුන්ගේ ජීවිත ආදරයෙන් පිරවූ, වෙනසක් කළ පුංචි පොමනේරියන් බලු පැටියෙක්. ලෝකය ඔහුට කොතරම් ආදරය කළත් තමන්ගේ සමීපම කෙනා තමන්ව දමා ගියාට පස්සෙ මේ සංවේදී බලු පොඩිත්තාගේ ළය පැළී මිය ගියා. සත්තුන්ට වුණත් ආදරය කරුණාව වැනි හැඟීම් කොතරම් දැනෙනවාද යන්නට මෑත කාලයේ අප දකින හොඳම උදාහරණය තමයි, බූ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි