×

චීන වෛරසයෙන් මිය ගිය ගණන 9 දක්වා ඉහළට – වසංගතය ඇමරිකාවටත්

‘වුහාන් කොරෝනා වයිසරය‘ යනුවෙන් හඳුනාගෙන ඇති චීනයේ වුහාන් පළාතෙන් පැතිර යාම ආරම්භ වූ වෛරස් රෝගයට මේ වන විට 9 දෙනෙක් බිලි වී ඇත.


චීනය පවසන්නේ ආසාදිතයන් ගණන 400 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, බටහිර ඇමරිකා එක්සත් ජනපදය වෙත ද රෝගය පැතිර ඇති බව ඊයේ (21) දිනයේ වාර්තා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ නිලධාරීන් විසින් මෙම තත්වය ගෝලීය වසංගතයක් බවට වර්ධනය වීමේ අවදානම පිළිබඳව ජිනීවා නුවරදී හදිසි රැස්වීමක් පැවැත්වීමට සූදානම් වෙති.

ඔවුන් විසින් මෙය හඳුන්වන්නේ “public health emergency of international concern,” – අන්තර්ජාතික වශයෙන් සැලකිලිමත් විය යුතු හදිසි මහජන සෞඛ්‍ය තත්වයක්‘ යනුවෙනි.

මේ වන විට මෙම වෛරස් රෝගයට ගොදුරු වූවන් පිළිබඳ තායිලන්තය, දකුණු කොරියාව සහ ජපානයෙන් ද වාර්තා වේ.

ඒ අනුව පහත දැක්වෙන්නේ මේ වන විට වසංගතය පැතිරී ඇති බව සනාථ වී ඇති රටවල් ය.

රෝගය බෝ වන්නේ මිනිසුන්ගෙන් මිනිසුන්ට

මීට සති කිහිපයකට පෙර සැක කෙරුණේ මෙම රෝගය කුකුළන්, ඌරන් වැනි මිනිස් පරිභෝජනය සඳහා යොදගන්නා සතුන්ගෙන් බෝවන බවයි.

මෙය novel coronavirus (2019-nCoV) හෙවත් කොරෝනා වෛරස් කාණ්ඩයට අයත් වීම සහ, සාර්ස් වැනි අතීත වසංගත පවා මිනිසුන්ගෙන් සතුන්ට බෝ වූ ඒවා වීම ඊට හේතුවයි.

නමුත් මෙය, ශ්වසන පද්ධතිය හරහා මිනිසුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව මේ වන විට තහවුරු වී තිබේ.

චීන නව අවුරුද්ද නිසා අවදානම ඉහළ ගිය හැටි

මිහිමත සිදුවන විශාලතම වාර්ෂික මිනිස් සංක්‍රමණය සිදුවන්නේ චීන නව අවුරුදු උදාවේ ය. එය ජනවාරි මැද සිට පෙබරවාරි මාසය දක්වාම සිදු වේ. ලොව පුරා විසිරී සිටින මිලියන සංඛ්‍යාත චීන ජාතිකයන් ගම් බිම් බලා යාම සහ, නැවතත් විදෙස් රටවල් සහ විදෙස් පළාත් බලා පිටත් ව යාම මේ කාල පරිච්ඡේදයේදී සිදු වේ.

මේ අනුව මෙම වසංගතය පැතිර යාමේ අවදානම ඉහළ දැමූ ප්‍රධාන සාධකයක් බවට මෙම සංක්‍රමණය පත් ව තිබේ.

 

විශ්වීය එන්නතක් ගැන පර්යේෂණ

මේ වන විට මෙම වසංගතය ගෝලීය මට්ටමෙන් මැඩ පැවැත්වීම සඳහා ටෙක්සාස්, නිව්යෝක් සහ චීනයේ විද්‍යාඥයෝ එක්ව මහා මෙහෙයුමක් දියත් කර තිබේ.

‘‘මෙයින් අප ඉගෙන ගත් පාඩම වන්නේ කොරෝනා වෛරස් ආසාදයන් අතිශය බරපතළ බව සහ, ලෝකය මුහුණ නවතම-දැවැන්තම ගෝලීය සෞඛ්‍ය තර්ජනයක් වන බවයි..‘‘ යැයි එම විද්‍යාඥයෝ පවසති.

පෙර ලිපි –
නව කොරෝනා වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන්නක් බව චීනය තහවුරු කරයි
චීනයේ අද්භූත වෛරසය නිසා තෙවැනි මිනිසාත් මිය යයි
චීන ජාතිකයන් අතර හඳුනා නොගත් නියුමෝනියා රෝගයක් -ආසියාව අසීරුවෙන්

Cover Photo: N1



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි