×

ෂී ජින්පින්ගේ මැදපෙරදිග සංචාරය අවසන්; චීන-අරාබි හවුල්කාරිත්වය හරහා දෙරට නව යුගයක් ප්‍රකාශයට පත් කරයි

දින තුනක් පුරා පැවති ෂී ජින්පින්ගේ මැදපෙරදිග සංචාරය හරහා නව ගිවිසුම් රැසක් ඉතා සාර්ථකව නිම කර ගැනීමට හැකිවූ බව වාර්තා වේ.


දින තුනක් පුරා පැවති ෂී ජින්පින්ගේ මැදපෙරදිග සංචාරය හරහා නව ගිවිසුම් රැසක් ඉතා සාර්ථකව නිම කර ගැනීමට හැකිවූ බව වාර්තා වේ. ඒ අනුව චීන-අරාබි හවුල්කාරිත්වය හරහා දෙරට නව යුගයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙහිදී පැවැත් සාකච්ඡා තුළ රටවල් දෙකම එකඟතාවයකට පැමිණි මාතෘකා අතර අභ්‍යවකාශ පර්යේෂණ, ඩිජිටල් ආර්ථිකය සහ යටිතල පහසුකම්වල සිට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, යේමනයේ යුද්ධය සහ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම මෙන්ම න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීම, කෘතිම බුද්ධිය වැනි නවීන තාක්‍ෂණයන් දියුණු කිරීම සහ බලශක්ති ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් සඳහා එක්ව කටයුතු කිරීම වැනි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද දෙරට එකඟව ඇත.

දෙරට අතර ආරක්ෂාව සහ තෙල් සම්බන්ධයෙන් ද මෙම සංචාරයේදී විශාල වශයෙන් සාකච්ඡා වී ඇති අතර චීනය ලෝකයේ විශාලතම තෙල් ගැනුම්කරු වන අතර සෞදි අරාබිය එහි ප්‍රධාන සැපයුම්කරු වේ. මේ සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡාවලට අනුව සෞදි පුවත්පත් ඒජන්සිය (SPA) වාර්තාකර තිබුණේ සෞදි ජාතික තෙල් දැවැන්තයා වන Aramco සහ Shandong Energy Group චීනයේ ඒකාබද්ධ පිරිපහදු සහ ඛනිජ රසායනික අවස්ථා පිළිබඳ සහයෝගීතාව ගවේෂණය කරන බවයි.

1950 ගණන්වල සිට චීන ජනරජයේ ප්‍රධාන පරමාදර්ශයන්ගෙන් එකක් වූයේ අන්‍යෝන්‍ය කටයුතුවලට මැදිහත් නොවීම යන මූලධර්මයයි. මෙය චීනය විසින් අගය කරන ලද වඩාත්ම පූජනීය සංකල්පයකි. මෙහිදී චීනය හා සෞදි අරාබියාව අතර මෙම සංකල්පය පිළිබඳවද සාකච්ඡා ඇති වූ අතර මෙහිදී එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන්නෙන් අදහස් වන්නේ දේශීය ප්‍රතිපත්ති ගැන අදහස් දැක්වීම හෝ මානව හිමිකම් වාර්තා විවේචනය නොකිරීමයි.

එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර බලවතුන් සමඟ සෞදි අරාබියේ සබඳතාව අවුල් කරන එක් ප්‍රධාන බාධකයක් වන්නේ ද දේශීය හා විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නැවත නැවතත් විවේචන එල්ල වීමයි. එනම් වොෂින්ටන් පෝස්ට් තීරු ලිපි රචක ජමාල් කෂෝගි ඝාතනය, යේමනයේ යුද්ධය සහ රාජධානියේ තෙල් ප්‍රතිපත්තිය මෙන්ම යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී රුසියාව සමඟ සටන් කිරීමට රියාද් ආයුධ සන්නද්ධ කළ බවට වන චෝදනාවන් නිදසුන්ය. එමෙන්ම චීනය සම්බන්ධයෙන් තායිවානය ගැටලුව, ෂින්ජියැන්ග් කලාපයේ උයිගුර්වරුන්ට සහ අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වන චෝදනාවන් ආදිය පිළිබඳ මැදිහත් නොවීමට දෙපාර්ශවය මෙහිදී එකඟව ඇත.

මෙම සංචාරයේදී චීන ජනාධිපතිවරයා විසින් චීන මුදල් භාවිතා කරමින් තෙල් හා ගෑස් අලෙවි කිරීම සඳහා වේදිකාවක් ලෙස ෂැංහයි පෙට්‍රල් සහ ගෑස් හුවමාරුව භාවිතා කරන ලෙස ඉල්ලා සිටින්නට විය. මෙය චීනයේ යුවාන් ඒකකය ජාත්‍යන්තර මුදල් ඒකකයක් වශයෙන් ශක්තිමත් කිරීමට ගනු ලබන උත්සහයක් වන අතර මෙය සාර්ථක වනුනේ නම් ඇමරිකන් ඩොලරයට මෙය බලවත් පහරක් වන අතර එය එක්සත් ජනපද ආර්ථිකයට බෙමෙවින් බලපානු ඇති බව විශ්ලේශකයන්ගේ අදහසයි.

ෂීගේ මැදපෙරදිය සංචාරය පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවද ආරක්ෂාව හා තෙල් සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ එක්සත් ජනපදය අතර සාම්ප්‍රදායික ලිඛිත ගිවිසුමක් ඇති අතර එහි සඳහන් වන්නේ සෞදි අරාබියාව තෙල් සපයන අතර එක්සත් ජනපදය ආරක්ෂාව සැපයිය යුතුය යන්නයි.

සෞදි අරාබියාව මෑතක දී මෙම සාම්ප්‍රදායික ගිවිසුමෙන් ඉවත් වීමට උනන්දු වී ඇත. මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ හෙඳ හිත මේ වන විට පළුදු වී ඇත. කෙසේ නමුත් මාධ්‍ය හමුවකදී සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු අවධාරණය කළේ රාජධානිය සියලු පාර්ශවයන් සමඟ සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

සශිකලා මධුෂාණී_

ඡායා රූප : අන්තර්ජාලයෙන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි