×

යෙමනයේ හවුතිවරුන් යලි කරලියේ, සෞදි දේශ සීමාවේ ඩ්‍රෝන යාත්‍රාවක් බිම හෙලලා!

මෙම ඩ්‍රෝන යාත්‍රාව බුද්ධි තොරතුරු එක්රැස් කිරීමට ගුවන්ගත කර ඇති බවට ඔවුහු පවසති.


යෙමනයේ හවුති දේශපාලන ව්‍යාපාරය අද (‍නොවැම්බර් 01) දින නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් කියවෙන්නේ සෞදි අරාබි දේශ සීමාවේ පියාසර කළ ඩ්‍රෝන යාත්‍රාවක් තම ආරක්ෂක අංශ විසින් බිම හෙලි බවයි. 

එකී බිම හෙලූ ඩ්‍රෝන යාත්‍රාව ඇමරිකා එක්සත් ජනපදයේ නිමවූ ස්කෑන්ඊගල් වර්ගයේ ඩ්‍රෝන යාත්‍රාවක් බව ද යෙමනයේ හවුති ව්‍යාපාරයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 

හවුති ව්‍යාපාරයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක යහ්යා සරියා හට අනුව මෙම ඩ්‍රෝන යාත්‍රාව බුද්ධි තොරතුරු එකතු කිරීම සඳහා ගුවන් ගත කළ යාත්‍රාවකි. 

පසුගිය කාලයේ සෞදි අරාබියේ සවුදි අරම්කෝ නම් තෙල් බලාගාර වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම මත ප්‍රධාන වශයෙන් ම චෝදනා ගොනුවී තිබුණේ ඉරානය වෙතය. මෙම ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ ගෝලීය බලශක්ති සැපයුම් දාමයට ප්‍රභල පහරක් එල්ල වූ අතර, එය ගෝලීය තෙල් මිලටද බලපෑම් ඇති කිරීමට සමත් විය. එම චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කර සිටිමුත් මෙම ප්‍රහාරයේ වගකීම යෙමනයේ හවුති ව්‍යාපාරය ස්වේච්ඡාවෙන් ම භාර ගන්නා ලදී. හවුති දේශපාලන ව්‍යාපාරය ඉරාන සහය ලබන බවට විවිධ පාර්ශවයන් ගෙන් මත ඉදිරිපත් වේ.

අවස්ථා කිහිපයකදී ම යෙමනයේ හවුති දේශපාලන ව්‍යාපාරය අවධාරණය කර තිබුණේ තම පාලනයට සන්නද්ධ අරගලයක් දියත් කිරීමට අවශ්‍යතාවක් නොපවතින බවත්, සෞදි අරාබිය තම රාජ්‍යයට පහර එල්ල කිරීම නතර කරන්නේ නම් තම ප්‍රතිප්‍රහාර ද නවතා දැමීමට සූදානම් බවයි. 

කෙසේවෙතත්, යෙමනයේ පාලන බලය හිමිකර ගැනීමට සමත් වූ හවුති ව්‍යාපාරය ඒ වෙනුවෙන් කටයුතු කළ අන්දම ඉතිහාසය දන්නා පුද්ගලයකු හට අමතක නැත. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි