×

මගේ න්‍යෂ්ඨික බලාගාරය ආරක්ෂා කරලා දෙන්න, සෙලෙන්ස්කිගෙන් ආයෙත් ජාත්‍යන්තර අඳෝනාවක්

යුක්රේනයේ පිහිටි සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට එක්සත් ජාතීන් කටයුතු කළ යුතු බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසයි.


අද (18) දින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් යුක්රේනය බලා පිටත් වූ අතර, යුක්රේන ජනපතිවරයා මේ බව පවසා තිබෙන්නේ ඔහු සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ය.

මෙහිදී රුසියානු හමුදා විසින් අත්පත්කර ගෙන සිටින සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරය සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවධානය යොමුවූ බව යුක්රේන ජනපතිවරයා ටෙලිග්‍රෑම් යෙදුම හරහා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රුසියානු හමුදා විසින් උක්ත න්‍යෂ්ඨික බලාගාරය පිහිටා ඇති කලාපයේ දියත් කර ඇති ත්‍රස්ත ක්‍රියා හමුවේ ගෝලීය වශයෙන් විනාශකාරී ප්‍රතිඵල ඇතිවිය හැකි බවත්, මෙම විනාශය වැළැක්වීම සඳහා උපායමාර්ගික ස්ථානයක් වන සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට, එය මිලිටරිකරණයෙන් ගලවා ගැනීමට සහ සම්පූර්ණයෙන් රුසියානු සන්නද්ධ බලකාවලින් නිදහස් කර ගැනීමට එක්සත් ජතීන් කටයුතු කළ යුතු බවත් සෙලෙන්ස්කි පවසයි.

ඉකුත් පෙබරවාරි 24 වන දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ, යුක්රේනයේ නැගෙනහිර කලාපයේ පිහිටා ඇති සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරය අත්පත් කර ගැනීමට රුසියානු හමුදා සමත් විය. එහෙත් තවමත් එම න්‍යෂ්ඨික බලාගාරය ක්‍රියාත්මක වන්නේ යුක්රේන තාක්ෂණ නිලධාරීන් අතිනි. මීට අදාළව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (International Atomic Energy Agency: IAEA) සමඟ හමුවක් ලබා ගැනීමේ අරමුණින් යුක්රේනයේ කිව් අගනුවර සිට සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරය වෙත එම ඒජන්සියේ නියෝජිතයන් පිරිසක් එවීමට හැකි බව එක්සත් ජාතීන් පවසා තිබිණි. මීට ප්‍රතිචාර දක්වමින් රුසියාව ප්‍රකාශ කළේ, මෙහෙයුම් සඳහා යුක්රේන අගනුවර හරහා දූත පිරිසක් එවීම භයානක විය හැකි බවයි.

80 දශකයේ සෝවියට් සමූහාණ්ඩුව පැවති සමයේ යුක්රේනයේ ෂර්නොබිල් හි පිහිටි න්‍යෂ්ඨික බලාගාරයක සිදුවූ පිපිරීම හමුවේ අහිමි වූ සහ පරිහානියට පත්වූ ජීවිත සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති අතර, න්‍යෂ්ඨික බලාගාරයක් අසළ යුධ ක්‍රියාන්විතයන් දියත් කරන එකඳු පාර්ශවයක් හෝ (රුසියාව සහ යුක්රේනය යන දෙපාර්ශවයටම මෙය අදාළය) ජාත්‍යන්තරය හමුවේ අඳෝනා නිකුත් නොකර අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ස්වයංවිනයක් පවත්වා ගත යුතු බව සිහිපත් කළ යුතු ය.

ඡායාරූප: ගෙටී ඉමේජස්

සබැඳි ලිපි‍:

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් යුක්රේනය බලා…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි