×

වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ දිනය (Zero Discrimination Day) අදයි!

2014 මාර්තු පළමු දින චීනයේ බීජිං නුවර පළමු වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ දිනය සැමරීම සිදුවන ලදී.


වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ දිනය (Zero Discrimination Day) ලෙස මාර්තු පළමු වන දිනය හැඳින්වෙනු ලැබේ.

මෙදිනට අදාලව ගෝලීය මට්ටමින් ලොව පුරා ඕනෑම අන්දමක වෙනස්කොට සැලකීම් වලට එරෙහි ව්‍යාපාර ක්‍රියාත්මක වන අතර, මනුශ්‍ය වර්ගයා අතර පූර්ණ හා ඵලදායි අන්දමින් ජීවත් වීම සඳහා ඇති අයිතිය, මූලික අයිතිවාසිකම් හා සහයෝගීතාව සනිටුහන් කිරීම සඳහා මෙදින සමරනු ලැබේ.

වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ දිනය තුළ සමාජ සන්දර්භයන් තුළ මානව වර්ගයා එක සේ සැලකීම, හා සාමය හා සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමෙහි ලා සියළු සමාජ ඒකකයන් තුළ සිදුවන වෙනස්කොට හා කොන්කොට සැලකීම් පිටුදැකීම හා ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකිරීම අපේක්ෂා කෙරේ.

පළමු වරට වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ දිනය හඳුන්වා දුන්නේ 2014 වර්ෂයේදී ය. ඒ UNAIDS සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂ මයිකල් සිදිබේ මහතා විසිනි.

2014 මාර්තු පළමු දින චීනයේ බීජිං නුවර පළමු වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ දිනය සැමරීම සිදුවන ලදී.

ඒ HIV/AIDS ව්‍යාප්තිය හා එච්අයිවී සමඟ ජීවත් වන ප්‍රජාවන් ඉලක්ක කොට ගෙන සිදුවන වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් පිටු දැකීම අරමුණු කොට ගෙන ය.

ලොව සෑම රටකම HIV පාදක කොට ගත් වෙනස්කොට සැලකීම්, කොන්කොට සැලකීම්, ප්‍රචණ්ඩත්වය, හිංසනය හා වැරදි මත පවතින අතර, ඒ තුළින් ආන්තික ප්‍රජා හට සිදුවන කෙණහිලිකම් පිටුදැකීම හා සාමය සහ ආදරය පිරි ලොවක් ගොඩ නැඟීම UNAIDS සංවිධානයේ අපේක්ෂාව විය.

2020 වර්ෂයට අදාලව වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ දිනය සමරනු ලබන්නේ කාන්තා පාර්ශවය ඉලක්ක කොට ගත් වෙනස්කොට හා කොන්කොට සැලකීම් පිටුදැකීමේ තේමාව පාදක කොටගෙන ය.

ඒ අනුව කාන්තාවන් හා ගැහැණු ළමුන් අතර පවතින විවිධත්වය හා සමානාත්මතාවය සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම හා කාන්තාවන් හා ගැහැණු ළමුන් ඉලක්ක කොට ගත් හිංසන පිටු දැකීමෙහි ලා ගෝලීය මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වීමට නියමිත ය.

කාන්තාවන් හා ගැහැණු ළමුන් ඉලක්ක කර ගනිමින් සිදුවන HIV/AIDS ආශ්‍රිත වෙනස්කොට සැලකීම් ආමන්ත්‍රණය කරමින් මෙම වසරේදී වඩාත් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළ නිවැරදි තොරතුරු ජනතාව අතර බෙදා හැරීම සඳහා ලොව පුරා වසන එච්අයිවී සමඟ ජීවත් වන හා අවදානමට ලක්ව සිටින ප්‍රජාවන්ගේ (විශේෂයෙන් කාන්තාවන්ගේ) අවශ්‍යතා පිළිබඳ දැනුවත් කිරීම සිදුවෙයි.

AIDS තුරන් කළ හැකි මුත් එම අරමුණ කරා සැබවින්ම ළඟා විය හැකි වන්නේ විද්‍යාත්මක ප්‍රවේශයක් තුළ සමාජ අසාධාරණයට ලක්ව සිටින ප්‍රජාවන්, විශේෂයෙන් කාන්තාවන් හා ගැහැණු ළමුන්, හට සාධාරණය ඉෂ්ට කිරීමෙන් පමණක් බව UNAIDS සංවිධානයේ වත්මන් විධායක අධ්‍යක්ෂිකා විනී බ්‍යානිමා මහත්මිය අවධාරණය කර සිටියාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි