×

ස්ක්‍රිපාල්ට දුන් වස වර්ගයම නවාල්නිටත් දීලා !- රුසියානු විපක්ෂ නායකයා අසාධ්‍ය තත්වයෙන් ජර්මනියේ

රුසියානු විපක්ෂ නායක මෙන්ම පුටින්ගේ ප්‍රබල විරුද්ධවාදියෙකු ලෙස සැලකෙන ඇලෙක්සි නවාල්නි (Alexei Navalny) වස ශරීරගත වීමකට ලක්ව ඇති බව වෛද්‍යවරු සනාථ කරති.


ඔහු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ බර්ලිනයේ චැරිටේ රෝහලේ (Charité hospital) ය.

නවාල්නි පසුගිය බ්‍රහස්පතින්දා රුසියාවේ අභ්‍යන්තර ගුවන් සේවයකට අයත් ගුවන්යානයක් තුළදී හදිසියේ අසනීප විය.

ඔහු වේදනාවෙන් ඇඹරෙමින් පසුවන ආකාරය දැක්වෙන වීඩියෝ ද සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

මේ අතර, රුසියාවේදී ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසන්නේ නවාල්නිට ශරීරගත වී තිබෙන බව කියන කෝලීන්ස්ටරේස් ඉන්හිබිටර්ස් නමැති විෂ වර්ගය, රුසියාවේ නොමැති බවයි.

එසේම රුසියාවේදී ඔහුට ප්‍රතිකාර කරන විට මෙම විෂ වර්ගය ඔහුගේ ශරීරයේ නොතිබුණු බවත් ඔවුහු පවසති.

මේ අනුව ගුවන්තොටුපොළේදී හෝ ගුවන් යානය තුළදී ඔහුට වස දෙන්නට ඇත්දැයි සැකයක් මතු වේ.

තොම්ස්ක් ගුවන්තොටුපොළේදී ගුවන්යානයට නැගීමට පෙර නවාල්නි තේ කෝප්පයක් බිව් බවට ද වාර්තා තිබේ.

ඔහුගේ තත්වය බරපතළ නමුත් මාරක එකක් නොවන්නේ යැයි ජර්මානු වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇතත් මේ සිදුවීමත් සමග පුටින් විසින් විසම්මුතිය මර්දනය කළ අතීත මතකයන් නැවත හිස ඔසවමින් තිබේ.

2018 මාර්තු මාසයේදී එංගලන්තයේ සැලිස්බරිහිදී හිටපු කේබීජී ඔත්තුකරුවෙකු වූ සෙර්ගෙයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය මරණාසන්න තත්වයට පත් වී තිබුණේද මෙම වස වර්ගයෙන්ම වීම විශේෂත්වයකි. එම වස අඩංගු කර තිබුණේ සුවඳ විලවුන් බෝතලයක ය.කියවන්න – සුවඳ විලවුන් බෝතලයක සැඟවූ නොවිචොක් ප්‍රහාරයේ සුලමුල

මේ අතර ස්ක්‍රිපාල් ට වසදීම පිටුපස සිටි බවට සැක කෙරෙන රුසියාවේ ‘ගෘෘ‘ රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා ද 2018 නොවැම්බර් මාසයේදි අබිරහස් ලෙස මරණයට පත් ව තිබිණි.කියවන්න – රුසියාවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා අබිරහස් ලෙස මරුට

නවාල්නිට මීට පෙරත් වස දීලා!

රුසියානු විපක්ෂ නායක සෙර්ගෙයි නවාල්නි මීට පෙර ද අබිරහස් අන්දමින් වස ශරීරගතවීම්වලට සහ විවිධ ප්‍රහාරවලට ලක්ව තිබේ.

2017 අප්‍රේල්

මොස්කව් නගරයේදී දෙවන වතාවටත් ඔහුට තුවාළවලට යොදන ආකාරයේ කොල පාට ඩයි වර්ගකින් අසාමාන්‍ය ප්‍රහාරයක් එල්ල විය. ‘‘මේක විනෝදජනකයි වගේ පේන්න පුළුවන් නමුත් ඉවසගන්න බැරි තරම් වේදනයි‘‘ යනුවෙන් ඔහු එවර ට්වීට් කර තිබිණි.

2019 ජූලි

අවසර නොලත් විරෝධතා පැවැත්වීම හේතුවෙන් නවාල්නිට දින 30ක සිර දඬුවමක් ලැබිණි. බන්ධනාගාරයේදී ඔහුව ඇද වැටුණු අතර වෛද්‍යවරුන් පැවසුවේ තීව්‍ර ආසාත්මික කම්පනයක් ඇති ව තිබෙන බවයි. නමුත් ඔහුගේ වෛද්‍යවරයාගේ අදහස වූයේ නවාල්නිට විෂ සහිත ද්‍රව්‍යයක් ශරීරගත වී ඇති බවත්, එය ඇතැම්විට වස වර්ගයක් විය හැකි බවත් ය.

2019 දෙසැම්බර්

නවාල්නි විසින් පවත්වාගෙන යන දූෂණ විරෝධී සංවිධානයේ කාර්යාලයට රුසියානු ආරක්ෂක අංශ විසින් පහර දුන්නේය. ලැප්ටොප් පරිගණක සහ සෙසු උපාංග හමුදාව විසින් රැගෙන ගිය අතර, සීසීටීවී දර්ශනවලින් පෙනුණේ අධිබල උපකරණ යොදාගෙන එම කාර්යාලය බිඳ දමන ආකාරයයි. පසුව රුසියානු රජය විසින් ඔහුගේ දූෂණ විරෝධී සංවිධානය ‘විදේශ ඒජන්තයෙකු ‘(“foreign agent”) ලෙස නම් කළේය.

යුක්රේනයේ යුෂෙන්කෝ

පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ යුක්රේනයෙන් ද 2004 වසරේදී දේශපාලන නායකයෙකුට වසදීම පිළිබඳ සිද්ධියක් වාර්තා වී එය ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේය.

එය යුක්රේනයේ දේශපාලන ගමන් මග වෙනස් කළ ‘තැඹිලි විප්ලවය‘ සඳහා දායක වූ වික්තර් යුෂෙන්කෝ (Viktor Yushchenko) ය. පසුව යුක්රේනයේ ජනාධිපතිවරයා බවට පත් වූ වික්තර් යුෂෙන්කෝ 2004 වසරේදී යුක්රේනයේ නිල නොලත් විපක්ෂ නායකයා ලෙස කටයුතු කරමින් සිටි අතර 2004 යුක්රේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙක් විය.

යුෂෙන්කෝගේ ප්‍රබලම ප්‍රතිවාදියා ලෙස සැලකුණේ එවකට අගමැතිව සිටි වික්තර් යනුකොවිච් ය. ඡන්ද ව්‍යාපාරය අතරතුර යුෂෙන්කෝ හදිසියේම රෝගාතුර වන අතර, ඔහුගේ ශරීරයෙන් TCDD නමැති වස වර්ගය අධිමාත්‍රිකව සොයාගැනෙයි. එය ඩයොක්සින් සහ ඒජන්ට් ඔරෙන්ජ් වල සම්මිශ්‍රණයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුෂෙන්කෝගේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වී ගිය අතර, පසුව ප්ලාස්ටික් සැත්කම් මාර්ගයෙන් එය යථා තත්වයට පත් කර ගැනීමට සිදුවිය.

වස ශරීරගත වීම නිසා යුෂෙන්කෝගේ මුහුණ විකෘති වී තිබූ අයුරු

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි