×

තවමත් ලෝකය කතා කරන මහේශාක්‍ය රාජාලියාගේ ඡායාරූපය

2019 මැයි මාසයේ පළමු වරට ලෝකයේ වයිරල් වූ මෙම ඡායාරූපය තවමත් ලංකාවේ පවා සමාජ ජාලවල කතා බහට ලක් වෙමින් පවතින බව පෙනේ.


එනිසා, මේ කෙටි ලිපිය, මෙම ඡායාරූපය සහ එයට පසුබිම් වූ කරුණු පිළිබඳව ය.

මෙම ඡායාරූපය ගනු ලැබුවේ කැනේඩියානු ජාතික ආධුනික ඡායාරූප ශිල්පියෙකු වන ස්ටීව් බිරෝ (Steve Biro ) විසිනි. කැනඩාවේ රැප්ටර් රක්ෂිතයේදී ගනු ලැබූ මෙය, ඔහු විසින් මුලින්ම පළ කරනු ලැබුවේ ද ෆේස්බුක් ගෘප් කිහිපයක් තුළ ය.

මහේශාක්‍ය පෙනුමැති තට්ට රාජාලියා, මේ ඡායාරූපය ගන්නා අවස්ථාවේදී ඡායාරූප ශිල්පියා දෙස අතිශය දැඩි බැල්මක් හෙළන්නේ හරියට කැමරාව වෙත කුරුමාණම් අල්ලන ගොදුරු පක්ෂියෙකු සිහිපත් කරමිනි.

එම පක්ෂියාගේ දෑස් සහ, විල් තලය මත වැටී ඇති උගේ ඡායාව විසින් සාදන පියාපත් වලය විසින් මෙම ඡායාරූපයට අද්විතීය වටිනාකමක් ලබා දී තිබිණි.

‘‘මේ ඡායාරූපය ගැනීමට මම ක්ලික්ස් සිය ගණනක් කළා..‘ යැයි ස්ටීව් පවසයි.

‘‘මම මේ ඡායාරූපයේ අනෙක් ඒවාට වඩා විශේෂත්වයක් දුටුවා. මෙහි උගේ පියාපත් ජලයේ යන්තමින් ස්පර්ශ වීම මගේ සිත් ගත්තා. නමුත් මිනිසුන් මේ ගැන කතා කරාවි කියා මම හිතුවේ නැහැ.‘‘

ස්ටීව් විසින් එය Reddit වෙබ් අඩවියේ මුල්පිටුවේ පළ කිරීමට කටයුතු කිරීමෙන් පසු එය ලොව පුරා ප්‍රවෘත්තියක් බවට පත්විය.

හයිරංකාරයෙක්

කැනඩාවේ ඔන්ටාරියෝ හි පිහිටා තිබෙන රැප්ටර් රක්ෂිතය වෙත පැමිණෙන ඡායාරූප ශිල්පීන් බොහෝ ය. එහි ජීවත් වන විශේෂ 200කට පමණ අයත් පක්ෂීන්ගෙන් සාමාන්‍යයෙන් ඔවුන්ට බාධාවක් හෝ තර්ජනයක් සිදු වන්නේ නැත.

නමුත් ‘බෘෘස්‘ නමැති මේ තට්ට රාජාලියා (Bruce the Bald Eagle) හැසිරුණේ ඊට වඩා තරමක් වෙනස් අන්දමිනි. තමන්ව කාච ඇසට සිය වතාවක් පමණ හසුකරගත් ඡායාරූප ශිල්පියා දෙස පක්ෂියා බලන්නේ තර්ජනාත්මක ලෙස ය. තමන්ගේ වසමට පැමිණි වදකාරයා දෙසම තියුණු බැල්මක් හෙළමින් ඌ ස්ටීව් බිරෝ දෙස කෙළින්ම පියඹා එයි.

එහි ප්‍රතිඵලයක් ලෙසට ලෝකයම අදටත් කතා කරන ඡායාරූපයක් ලොවට දායාද වී තිබේ.

Photo by STEVE BIRO



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි