ස්විට්සර්ලන්තයේ චාල්ස් කුනොන් වැල් පාලම Charles Kuonen Suspension Bridge ගැන තමයි මේ කියන්න හදන්නෙ. 2017 අගෝස්තු මාසයේ මගීන්ට විවෘත කළ මේක තමයි, මිහිපිට තිබෙන, පයින් යන්නන් සඳහා තැනුණු දිගම වැල් පාලම, එහෙම නැතිනම් අත්වැල් පාලම. එල්ලෙන මගී පාලම කියලත් මේකට කියන්න පුළුවන්. (Longest pedestrian suspension bridge on the planet)
පින්තූරයක් තරම් ලස්සන ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටිය හරහා දිවෙන මේ වැල් පාලම හදල තියෙන්නෙ, පොළොව ඉඳන් මීටර 86ක්, එහෙම නැතිනම් අඩි 282 ක් උසින්. වෙනත් විදිහකට කිව්වොත්, ජිරාෆ්ලා 16 දෙනෙක් එකා පිට එකා බැගින් නැග්ගුවොත් මෙන්න මේ උස ඔබට ලැබෙයි!
චාල්ස් කුනොන් වැල් පාලම පිහිටල තියෙන්නෙ, ස්විට්සර්ලන්තයේ රාන්ඩා ප්‍රදේශයේයි.
මේ තරම් උසින් පිහිටියාට මොකද, මේ වැල් පාලම බොහොම පටුයි. කොහොමටත් වැල් පාලමක් එක්කෙනෙකුට එකවරකට යන්න පුළුවන් තරමට වඩා පළල් නැහැ. මේ පාලමේ පළල අඟල් 25.5 යි. ඒ කියන්නෙ සෙන්ටිමීටර 65 යි. එහෙමත් නැතිනම් අඩි 2 යි. හැබැයි පාලම අඩි 1620 ක්, එහෙමත් නැතිනම් මීටර 494 ක් දිගට විහිදෙනවා.
Swissrope සහ Lauber cableways කියන සමාගම් දෙක එකතු වෙලා මේ වැල් පාලම හැදුවෙ සති 10 ක් වගේ කෙටි කාලයකින්.
ඔබට මතකද, 2016 අවුරුද්දෙ චීනයේ Zhangjiajie කැනියොම මතින් ඉදිවුණු, පතුලට වීදුරු දාපු වැල් පාලම. ඉතින් ලෝකයේ දිගම වැල් පාලම විදිහට ඒකට තිබුණු කීර්ති නාමය, දැන් අයිති සුන්දර ස්විට්සර්ලන්තයේ පිහිටලා තියෙන මේ චාල්ස් වැල් පාලමටයි. එකම වෙනස, මේකෙ පතුලට වීදුරු දාල නෑ.
සාමාන්‍යයෙන් මේ වගේ දිග ප්‍රමාණයක් ඔස්සේ මේ වගේ උසකින් යද්දි මොකක්ද සිද්ධ වෙන්න පුළුවන්? ඔව්, ඔබ හරි! ලේසියෙන්ම ඔළුව කැරකිල්ල හැදෙන්න පුළුවන්.
කොහොමටත්, පාලම්වල යන්න සමහරු බයයි. වෛද්‍ය විද්‍යාවට අනුව නම් මේක බයක් නෙවෙයි, භීතිකාවක්. එහෙමත් නැතිනම් ෆෝබියාවක්. මේ ෆෝබියාවට ලස්සන නමක් තියෙනවා. ඒ තමයි, ජෙෆිරොෆෝබියා (Jephirophobia).
ඒ නිසා බැරි වෙලාවත් බිම බලන්න නම් එපා!
මේ වැල් පාලම දකිද්දි මතක් වෙන්නෙ, හුණු වටයේ කතාවෙ ගෘෘෂා, පුතාට කිව්ව ‘වැල් පාලමේ ගීතය.‘
නාට්‍යය – හුණු වටයේ කතාව – හෙන්රි ජයසේන
ගායනය – මානෙල් ජයසේන
හෙල ගැඹුරුයි… පුත නොබලන්
හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්
අපට පුතේ මඟක් නැතේ
මේ මඟ මිස යමන් පුතේ
දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ
ඔව්, කිව්ව වගේම මේ වැල් පාලමේ යද්දි ඒ අයට හිතෙනවා, අපට පුතේ මගක් නැතේ! කියලා. මොකද, මේ පාලම ඇල්ප්ස් කඳුකරයේ රාන්ඩා නිම්නය යා කරන්නේ, බොහොම රළු ගිරි ශිඛරවලින් යුත් පොළොවක් මතින්. ඉතින් බැරි වෙලාවත් පය පැකිළුණොත් ‘දෙයියො රකී‘ තමයි!