රුධිරයේ තිබෙන biomarkers 9 ක් මේ සඳහා යොදා ගැනේ. ඒවා අතර ජාන, රුධිර සාම්පලයෙන් ප්‍රකට වන රෝග ලක්ෂණ ද ඇත. ඒ අනුව ඕනෑම අයෙකුගේ ශරීරයේ ‘ජීව විද්‍යාත්මක වයස‘ ගණනය කරයි. මෙම ජීව විද්‍යාත්මක වයස යනු අපේ උප්පැන්න සහතිකයේ සඳහන් වන වයස නොවේ. එයින් අදහස් කෙරෙන්නේ අපේ ශරීරයේ අවයව සහ පද්ධති, ජීවත් වීම නමැති ක්‍රියාවලියේදී කොතරම් ක්ෂය වී ඇත්ද යන්න සහ, කොතරම් ආයු කාලයක් ඒවාට තව වැඩ කළ හැකිද යන්නයි.
පර්යේෂකයන් සොයාගත්තේ, සාමාන්‍ය කාලානුක්‍රමික වයස්ගතවීමට වඩා මෙම ක්‍රමය මගින් ජෛව විද්‍යාත්මක ව වඩාත් නිවැරදි හඳුනාගැනීමක් සිදුකළ හැකි බවයි. මේ අතර යේල් සරසවියේ පර්යේෂිකාවක් වන Morgan Levine පවසන අන්දමට, සාමාන්‍ය වේගයට වඩා ඉක්මනින් වියපත් වන පුද්ගලයන් හඳුනාගැනීමට මෙමගින් හැකියාව ලැබේ. එයින් අදහස් වන්නේ ඔවුන්ට ඉක්මනින් රෝගාබාධ වැළඳීමට ඉඩකඩ ඇති බව සහ, එනයින් ඔවුන්ගේ ආයු කාලය සෙසු අයට වඩා අඩු බව ය.
‘‘ඒ වගේම, බාහිරින් බලන විට සෞඛ්‍ය සම්පන්න සේ පෙනෙන අයගේ පවා ජෛව විද්‍යාත්මක වයස ඊට වඩා වැඩි බව අපට දක්නට ලැබුණා. ඒ අනුව ආයු අපේක්ෂාවේ විවිධ වෙනස්කම් ග්‍රහණය කරගන්නට අපට හැකියාව ලැබෙනවා. මෙය පූර්ව සායනික චිකිත්සාවක් වශයෙන් ඉතාම වැදගත්. එනම්, යම්කිසි රෝගාබාධයක් මතුවී එයට ප්‍රතිකාර ගැනීමට පෙර එම රෝගාබාධය ඇතිවීමේ අවදානම අපට හඳුනාගන්නට පුළුවන්.“ යැයි ඇය පවසන්නීය.
රුධිර පීඩනය වැනි සාමාන්‍ය GP පරීක්ෂා අනුගමනය කිරීම වෙනුවට වෛද්‍යවරුන්ට මෙමගින් රෝගීන් පිළිබඳ වඩා නිවැරදි තක්සේරුවක් ඉක්මනින් ලබාගත හැකි බව ද පර්යේෂකයෝ පවසති.
කෙසේ නමුත් මෙම පර්යේෂණය මගින් පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ ආයු අපේක්ෂාව, එසේත් නැතිනම් මිය යන දිනය සොයාගැනීම නොවේ. දැනට පවතින තත්වය යටතේ ඔබ මිය යාමට නියමිත වයස හඳුනාගෙන, එම ආයු අපේක්ෂාව වැඩි කරගැනීම සඳහා එම තොරතුර භාවිතා කිරීමයි.