×

මේ වසරේ අනූ හය ලක්ෂයක් (මිලියන 9.6) පිළිකාව නිසා මිය යාමට නියමිතයි!

පිළිකා රෝගයට ගොදුරුවන සංඛ්‍යාව සහ ඉන් ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාව අනාගතයේදී ඉහළ යනු ඇති බව අන්තර්ජාතික පිළිකා පර්යේෂණ ඒජන්සිය පෙන්වා දෙයි.


ඒ අනුව පිළිකාවලට ගොදුරුවන ලෝකවාසීන් සංඛ්‍යාව නුදුරු අනාගතයේදී මිලියන 18.1 දක්වා ඉහළ යනු ඇත. පිළිකා වැළඳීමෙන් මිය යන සංඛ්‍යාව මේමිලියන 9.6 දක්වා වැඩි වනු ඇති බවත් පැවසේ. 2012 වසරේදී අන්තර්ජාතික පිළිකා පර්යේෂණ ආයතනය කියා සිටියේ ඒ වසරේදී පිළිකාවලට ගොදුරුවූවන් සංඛ්‍යාව මිලියන 14.1ක් බවයි. පුද්ගලයෝ මිලියන 8.2ක් 2012දී පිළිකාවලින් ජීවිතක්ෂයට පත් වූහ. මේ අනුව වසර හතරකට පසුව තත්ත්වය බෙහෙවින්ම නරක අතට හැරී ඇති බව සංඛ්‍යා ලේඛනවලින් පෙනී යයි.

සෑම පිරිමින් පස්දෙනෙකුගෙන් එක් අයෙකුත්, සෑම කාන්තාවන් හයදෙනෙකුගෙන් එක් අයෙකුත් පිළිකා රෝගයට ඉදිරියේදී බිලිවනු ඇති බව අනාවරණය වේ. දරීද්‍රතාවයෙන් පෙළෙන රටවල ජනයාට වඩා පොහොසත් රටවල ජනයා පිළිකා රෝගයට ගොදුරු වන ප්‍රවණතාවක් ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. පෙනහළු, කාන්තා පියයුරු සහ අන්ත්‍ර ආශ්‍රිත පිළිකාවලින් පෙළෙන සංඛ්‍යාවත් ඉදිරියේදී ඉහළ යනු ඇත.

පිළිකාවලින් මියයන සංඛ්‍යාවෙන් තුනෙන් එකක් මියයනු ඇත්තේ පෙනළු, කාන්තා පියයුරු සහ අන්ත්‍ර ආශ්‍රිත පිළිකාවලිනි.

රටවල් 28ක කාන්තාවන් දැනට වැඩිපුරම ගොදුරු වන්නේ පෙනහළු පිළිකාවලට ය. ඇමෙරිකා එක්සත් ජනපදය, හංගේරියාව, ඩෙන්මාර්කය, චීනය සහ නවසීලන්තය යන රටවල කාන්තාවන් අතර පෙනහළු පිළිකා බහුල බව පර්යේෂකයෝ පවසති.

එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ ප්‍රධානි ජෝර්ජ් බුටර්වර්ත් පවසන්නේ කාන්තාවන් අතර පෙනහළු පිළිකා වැඩිවන්නට එකම හේතුව දුම්පානය බවයි.

“… පහළ සහ මධ්‍යම මට්ටම්වල ආදායම් ලබන රටවල කාන්තාවන් අතර සිගරට් ප්‍රචලිත වෙමින් තිබෙන්නේ පුදුමාකාර අන්දමින්. දුම්කොළ නිෂ්පාදන සමාගම්වල ආක්‍රමණකාරී අලෙවිකරණ ව්‍යාපාර නිසා ඒ බලපෑම ඇතිවෙලා තිබෙන්නේ. …” යැයි කියා ජෝර්ජ් බුටර්වර්ත් පවසයි.

ලොව සෑම රටක්ම දුම්කොළ පාලනයට ප්‍රතිපත්ති සැකසිය යුතු බව පර්යේෂණ ප්‍රතිඵල මඟින් අවධාරණය කෙරෙන්නේ යැයි අන්තර්ජාතික පිළිකා පර්යේෂණ ඒජන්සියේ ආචාර්ය ෆ්‍රෙඩී බ්‍රේ පවසයි.

මේ වසරේදී පිළිකා රෝගයට ගොදුරුවන සහ ඉන් ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාවෙන් අඩක්ම වර්තාවනු ඇත්තේ ආසියාවෙන් යැයි කියා අනුමාන කෙරේ. අධික ජනගහනයක් ආසියාවෙහි විසීමත් සමහර පිළිකාවලින් මියයන සංඛ්‍යාව ස්වභාවයෙන්ම වැඩිවීමත් යන කාරණා ඊට හේතුවනු ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි