×

ඇමරිකාවේ මාරක කිණිතුල්ලෝ

ඇමරිකා එක්සත් ජනපදය තුළ මාරක කිණිතුළු වසංගතයක් පැතිරීමේ ඉඩක් ඇති බවට අනතුරු ඇඟවේ.


මුලින්ම මෙම කිණිතුලු උවදුර ඇමරිකාව තුළ හඳුනාගත්තේ මෙයට වසරකට පෙර ය. එතැන් සිට මේ දක්වා උන්ගේ ගහණය විශාල වශයෙන් බෝ වී ඇති අතර, මේ වන විට ඇමරිකානු ජනපද 8කට මෙම පරපෝෂිතයා පැතිර ගොස් ඇත.

ඇමරිකානු රෝග මර්දන මධ්‍යස්ථානයට අනුව මෙම පරපෝෂිතයා ආසියානු කිණිතුළු විශේෂයකි. උන් හඳුන්වන්නේ Asian longhorned tick යනුවෙනි.

විදෙස් වාර්තා මෙසේ සඳහන් කරයි. ‘‘පසුගිය වසරේ නිව් ජර්සි ජනපදයේ බැටළු පැටවකුගේ සිරුරෙන් හමුවන තෙක් මෙම කිණිතුල්ලා දැකගත හැකි වූයේ ඇමරිකාවේ විද්‍යාගාර සහ නිරෝධායන ආයතන තුළ පමණි. නමුත් දැන් උන් දහස් ගණනින් දැකගත හැක.“

මෙම පරපෝෂිතයාගේ ගැහැණු සත්වයා වරකට බිත්තර 2000 ක් දමයි. උන්ගේ සපාකෑම්වලට ලක් වූ විට එසැණින් ආසාදන තත්වයන් හටගැනීමට පුළුවන. ජපානයේ උණ වසංගතය සහ ආසාදියන්ගෙන් 30%කටම මරණය ළඟා කර දුන් රක්තපාත උණ  රෝගයක් ඇති කර තිබෙන්නේ මෙම කිණිතුල්ලා විසිනි. උන් ක්‍රියා කරන්නේ අදාළ රෝග බීජ වෛරසය ගෙන යන වාහකයන් ලෙස ය.

පහත දැක්වෙන්නේ මෙම පරපෝෂිත කිණිතුල්ලා දින 8 ක් ඇතුළත සම්පූර්ණ වර්ධනය ළඟා කර ගන්නා ආකාරයයි.

 

ඇමරිකාව තුළ රෝග ආසාදනය කළ හැකි කිණිතුල්ලන් නිරෝධායනයට මුලින්ම ලක් කළේ මෙයට වසර 80කට පමණ පෙර ය. මෙම ආසියාතික කිණිතුළු පරපෝෂිතයා ඇමරිකාව තුළට සුරතල් සතුන්ගේ මාර්ගයෙන් සහ වෙනත් ක්‍රමවලින් ඇතුල් වීමට ගත් උත්සාහයන් 15කට වඩා නතර කර ඇති බව ද වාර්තා වේ. නමුත් ඒ, 2017ට පෙර තත්වයයි. මේ වන විට ඇමරිකාවේ රෝග පාලන මධ්‍යස්ථානය කියා තිබෙන්නේ ‘‘මෙම ආසියාතික කිණිතුල්ලාට එරෙහි සටනින් තමන් පරාජය වෙමින් යන බව‘ ය. ඇතැම්විට ඇමරිකාව තුළ අනාගතයේ පැතිර යා හැකි වෛරස් රෝගයක සුලමුල මෙම කුඩා පරපෝෂිත ජීවියා විය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි