×

ළමා වියේ ආසාදන, මානසික ආබාධවලට අත වනයි

ළමා වියේදී දරුවන් ලක්වන ආසාදන, පසුකාලීනව මානසික ආබාධ හෝ මානසික ගැටළු ඇතිකිරීමට හේතුවන බව නවතම පර්යේෂණයක් පෙන්වා දෙයි.


ළමා වියේදී දරුවන් ගොදුරු වන බරපතළ හා සාමාන්‍ය ආසාදන තත්වයන් සහ, පසුකාලීනව ඔවුන් ලක්වන මානසික තත්වයන් පර්යේෂණයට ලක් කරමින් සිදුකළ විශාල පර්යේෂණ වාර්තාවකින් මෙම නිගමනයට එළඹී තිබේ.

පර්යේෂණය සඳහා යොදාගෙන තිබෙන්නේ ඩෙන්මාර්කයේ 1995 සිට 2012 දක්වා උපත ලැබූ මිලියනක ජනගහනයකි. එහිදී ඔවුන් සොයාගත්තේ, රෝහල් ගත කිරීමට තරම් ප්‍රබල ආසාදන වලට ළමාවියේදී ලක්වූවන්, පසුකාලීනව විවිධ මානසික සංකූලතාවන්ට ගොදුරු වීමේ විශාල අවකාශයක් පවතින බවයි. එවැනි අය අතරින් 84% ක් දෙනාට මානසික ආබාධ ඇතිවීමේ ඉහළ අවදානමක් ඇති අතර, එයින් හරි අඩකටම එනම් 42%කටම ඖෂධ හෝ චිකිත්සා ප්‍රතිකාර ලබාගත යුතු තත්වයක් පසුකාලීනව ඇති වී තිබේ.

එවැනි ආබාධ හෝ අශක්නුතා අතරට භින්නෝන්මාදය ( schizophrenia) සහ ඔටිසම් ද අයත් වේ. එසේම පෞරුෂ හා හැසිරීමේ ගැටළු ඇතිකරවන OCD හා ADD තත්ව ඇතිවීම සඳහා ද ළමා/බිළිඳු වියේදී ලක්වන රෝගාබාධ හේතු වන බව මේ ඇසුරෙන් වෛද්‍ය ලෝකය නිගමනය කරයි. විශේෂයෙන්ම ග්‍රස්ථිය යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන obsessive-compulsive disorder හෙවත් OCD ඇතිවීමේ වැඩි ඉඩකඩක් මේ නිසා ඇති වන බව පර්යේෂකයෝ පවසති.

‘‘මේ සියල්ලෙන්ම අපට ලබාදෙන පොදු පණිවුඩය වන්නේ ශරීරය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ආසාදන, ආසාත්මිකතා සහ මොළය අතර පවතින දැඩි හා සමීප සම්බන්ධතාවයයි‘‘ යනුවෙන් ද පර්යේෂකයෝ පවසති.

එතරම් දරුණු නොවූ ආසාදනවලට ළමා වියේදී/බිළිඳු වියේදී ලක්වූවන් මේ තත්වයට ගොදුරු වීමට ඉඩ පවතින්නේ 40% සිට 42% දක්වා අගයකිනි.

මෙම පර්යේෂණයේ සොයාගැනීම් මේ වන විට JAMA Psychiatry ජර්නලයේ පළ කර ඇත. පර්යේෂණය සිදුකර තිබෙන්නේ ඩෙන්මාර්කයේ Aarhus සරසවියේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයන් විසිනි.

ප්‍රතිකාර කළ ආසාදන තත්වයක්, ළමා වියේදී සහ යොවුන් සමයේදී මානසික සංකූලතාවයන් ඇති කරන බව හෙළි කළ ලෝකයේ පළමු විද්‍යාත්මක පර්යේෂණය ලෙසට මෙය සැලකේ.

මූලාශ්‍රය – JAMA Psychiatry



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි