×

දියමන්ති අද පටන් චීනයේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක්!

චීනය සුපිරි ජීවන රටාව සාමාන්‍යකරණය කරමින් සිටියි. ආභරණ මිල දැවැන්ත ලෙස පහළ බැසීමට නියමිතයි.


චීනය අද (ජූලි 1) පටන් ආභරණ සඳහා 68% ක පමණ තීරු බදු අඩු කිරීමක් ලබාදී ඇති අතර ආභරණවල මිල මේ නිසා සැලකිය යුතු අන්දමින් පහළ බැස තිබේ.

ඔවුන් මෙසේ එම ආභරණ කාණ්ඩවල තීරු බදු අඩු කර ඇත්තේ, එදිනෙදා පාවිච්චියට ගන්නා පාරිභෝගික භාණ්ඩ බවට ඒවා නැවත වර්ගීකරණය කිරීමත් සමගිනි.

ඒ අනුව චීනයේ දියමන්ති ද අද පටන් සැලකෙන්නේ සුඛෝපභෝගී ජීවිතයක සංකේතයක් ලෙස නොව, සාමාන්‍ය දෛනික භාණ්ඩයක් ලෙස ය.

නව තීරු බදු සංශෝධනයත් සමග රන් සහ රිදී ආභරණ සඳහා තීරු බද්ද 20% සිට 8% දක්වා ද, ප්ලැටිනම් සහ වෙනත් අගනා ලෝහවලින් කළ ආභරණවල ට අදාළ වන තීරු බද්ද 35% සිට 20% දක්වා ද අඩු වනු ඇත. ස්වභාවික සහ කෘත්‍රිම මුතු ආභරණ, මැණික් ආභරණ සහ අර්ධ මැණික් ආභරණ සම්බන්ධයෙන් ද මෙම තීරු බදු සංශෝධනය 35% සිට 20% දක්වා වේ.

මෑත කාලයේ චීනය විසින් ආභරණ ආනයන තීරු බදු අඩු කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

විශේෂයෙන්ම දියමන්ති තීරු බදු අඩු වීමත් සමග ඔප දැමූ දියමන්ති වෙනුවට දියමන්ති චීනය තුළ ඔප දමා ආභරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය ද දියුණු වනු ඇතැයි පැවසේ.

Photo Credit : Financial Tribune

තීරු බදු අඩු වීමත් සමග චීනයේ ආභරණ මිල සීඝ්‍රයෙන් පහළ බසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීනයට කැරට් 18 රන් භාණ්ඩ ආනයනය කරන ප්‍රධානතම රට වන ඉතාලියට ද මෙම නව තීරු බදු සංශෝධනය දිරිමත් කිරීමක් වනු ඇත. චීනය තුළ ඉතාලි රන් භාණ්ඩ ඉතාම ජනප්‍රිය බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

  • www.diamonds.net ඇසුරිනි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි