×

අපි නොදන්න ඩ්‍රැකියුලා

සමාජයේ බොහෝදෙනෙක් ඩ්‍රැකියුලා යන වචනය භාවිතයට ගනිති. එහෙත් ඩ්‍රැකියුලා යනු කවර ආකාරයේ ජීවියකුද? යන්න ඔවුහු බොහෝවිට නොදන්නෝය.


“ඩ්‍රැකියුලා” (Dracula) යන නම ඇසූ පමණින් අපේ සිත්හි මැවෙන්නේ ලේ උරා බොන මහ භයානක සතෙකුගේ චිත්‍රයකි. එසේ වුවත් ඩ්‍රැකියුලා යනුවෙන් හැඳින්වෙන, එවැනි ගති ලක්ෂණ ඇති සතෙකු පියවි ලෝකයෙහි කොතැනකවත් අපට දකින්නට ලැබෙන්නේ නැත. එසේ නම් අපේ හිත්වල පැලපදියම් වුණු ඩ්‍රැකියුලා කවරෙක්ද?. ඇත්තටම කිවහොත් “ඩ්‍රැකියුලා” යනු මිනිසෙකි. වඩාත් නිශ්චිතවම කිවහොත් කාලයක් ලෝකය හෙල්ලූ නරුම පාලකයෙකි.

හිතුමතේ දාමරිකම් කරමින් තුච්ඡ පාලනයක් ගෙනගිය “ඩ්‍රැකියුලා” වෙනත් නමකින් හැඳින්වුවහොත් ඒ තෙවන ව්ලැද් (Vlad iii) රජතුමාය. මිනිසුන් උල හිඳ වූ ව්ලැද් වශයෙනුත් වොලැකියාහි කුමරු (Prince of Wallachia) හැටියටත් හැඳින් වෙන්නේ මෙකී තෙවන ව්ලැද්ම ය. එදා වොලැකියාව වශයෙන් ගණන් ගැනුන භූමිය අද අයත් වන්නේ රුමේනියාවටයි.

A portrait of Vlad the Impaler, circa 1450, from a painting in Castle Ambras in the Tyrol | nbcnews

A portrait of Vlad the Impaler, circa 1450, from a painting in Castle Ambras in the Tyrol | NBC News

 

තෙවන ව්ලැද් 1431දී ට්‍රාන්සිල්වේනියාහිදී උපත ලබා තිබෙන බව ඉතිහාසයේ සඳහන් වේ. (එදා ට්‍රාන්සිල්වේනියාව යනුවෙන් හැඳින් වී තිබෙන්නේ වත්මන් රුමේනියාවේ මධ්‍යම කොටසයි) ව්ලැද් උපත ලැබූ වර්ෂය පැහැදිලි වුවත් ඔහු මියගිය වසරක් ගැන කොතැනකවත් හරිහැටි සඳහනක් නැත. 1476 දී හෝ 1477 දී හෝ එයට ආසන්න කාලයකදී හෝ හෙතෙම ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව බොහෝ විද්වතුන්ගේ මතයයි. පළමුව කී වොලැකියා පෙදෙස, කිහිපවරක් ඩ්‍රැකියුලාගේ පාලනයට යටත්ව පැවැති බවත් සඳහන් වේ. 1448 දීත් 1456 – 1462 අතර කාලයේදීත් 1476දීත් එහි පාලකයාව සිට ඇත්තේ තෙවැනි ව්ලැද් හෙවත් ඩ්‍රැකියුලාය.

තෙවැනි ව්ලැද්ට, ඩ්‍රැකියුලා යන නම යෙදුණේ ඔහුගේ පියා නිසයි. පියා හැඳින්වුණේ දෙවන ව්ලැද් ඩ්‍රැකියුල් (Vlad ii Dracul) යන නමිනි. තමන් පැවත ගෙන ආ රහසිගත ජන කොට්ඨාසයක් ඇසුරෙන් දෙවන ව්ලැද්, “ඩ්‍රැකියුල්” යන නම ලබාගෙන තිබුණේය. මේ ජන කොට්ඨාසය මකර ගෝත්‍රයකින් පැවැත ගෙන ආවේයැයි කියා කියැවේ. තමන් එහි සාමාජිකයෙකු වීම ගැන දෙවන ව්ලැද් ඩ්‍රැකියුල් මහත් අභිමානයකින් පසු වී තිබේ. ඒ තාත්තාගේ පුතා වූ තෙවන ව්ලැද් සමාජය හමුවේ පෙනී සිට ඇත්තේ ද ඩ්‍රැකියුලා යන නම භාවිතයට ගනිමිනි. එහි අරුත මකරාගේ පුතා යන්නයි. යක්ෂයාගේ පුතා යන අරුත එහි ඇති බව පෙන්වාදීමටත් සමහරු උත්සාහ කරති.

රුමේනියාවේ ඩ්‍රැකියුලාගේ බලකොටුව. මෙය අද සංචාරක නිකේතනයකි. | NBC News

රුමේනියාවේ ඩ්‍රැකියුලාගේ බලකොටුව. මෙය අද සංචාරක නිකේතනයකි. | NBC News

පාලන කාලයේදී තම රාජ්‍යයේ වැසියන්ට දරුණු වධ හිංසා පැමිණවීමෙන් ඩ්‍රැකියුලා අප්‍රමාණ ලෙස සන්තෝෂයට පත්වූයේය. කෙටියෙන්ම කිවහොත් ඒ කාර්යයේදී ඔහු දශමයක්වත් අඩු නැතිව යක්ෂයාගේ පුතා ය. ඔහු මිනිසුන් මරා දැමුවේ ඒ මිනිසුන්ගේ උදර පාසා කරගෙන යන ලෙස උල් රිටිවල ඇමිනීමෙනි. මෙය එක්තරා විධියකින් උල සිටුවීමේ ක්‍රමයක් ලෙස හැඳින්විණ. ඒ නිසා තෙවන ව්ලැද්ව “උල තැබීම් කළ ව්ලැද්” වශයෙනුත් හඳුන්වනු ලැබේ.

තෙවන ව්ලැද් රජ පැමිණියේ ඔහුගේ පියා ඝාතනයට ලක් වීමෙන් ඇතිවුණු හිස්තැනට ය. සිය පියා ඝාතනය කළ වේදනාව සහ වෛරය ඔහුගේ සිත තුළ බුර බුරා නැඟෙමින් තිබිණ. එනිසා හෙතෙම කළේ තම පියා ඝාතනය කරන්නට හවුල් වුණේ යැයි කියා සැක කළ සෑම කෙනෙකුම උල හිඳුවා මරා දැමීම ය. තම තාත්තා පාවා දුන්නේ තාත්තා ළඟින්ම සිටි ප්‍රභූන් යැයි කියන මතය තෙවන ව්ලැද්ගේ සිතෙහි තදින්ම පැවතිණ. වරක් ඔහු සිය මාළිගාවේ ප්‍රිය සම්භාෂණයක් පවත්වමින් ප්‍රභූන්ට ඊට ආරාධනය කළේය. පන්සියයකට අධික ප්‍රභූ පිරිසක් ඩ්‍රැකියුලාගේ මාළිගයට ආහ. උත්සවය හමාරවන්නට ඔන්න මෙන්න කියා තිබියදී උත්සව ශාලාවට ඩ්‍රැකියුලාගේ සොල්දාදුවෝ කඩා පැන්නාහ. අග උල්කර සකස්කර ගත් රිටි ඔවුන් අත තිබිණ. සොල්දාදුවෝ සෑම ප්‍රභූවරයෙකුම උල් රිටිවල ඇමිණීමට පටන් ගත්හ.

මිනිසුන් උල්රිටිවල අමුණා මරා දැමීම ඩ්‍රැකියුලා එතැනින් නැවැත් වූයේ නැත. උපායෙන් පොළඹවා ගෙන මිනිසුන් මාළිගාවට ගෙන්වා ගැනීම ඔහු හොඳ හැටියට ප්‍රගුණ කර සිටියේය. මාළිගාවට එහෙම ආ මිනිසුන්ගේ ජීවිතවල ඉදිරි ඉරණමට වග කිව්වේ ඩ්‍රැකියුලාගේ සොල්දාදුවන්ය. ඩ්‍රැකියුලා, කිසිවකු මරන්නට තීරණය කළේ නම් ඒ තීරණය කිසිදාක කිසිවකුට වෙනස් කරන්නට බැරිවුණු බව කියැවේ.

Actor Bela Lugosi, who played an iconic Dracula, prepares to bite the neck of an unconscious young woman in the 1931 movie "Dracula."

Actor Bela Lugosi, who played an iconic Dracula, prepares to bite the neck of an unconscious young woman in the 1931 movie “Dracula.”

උල් රිටිවල අමුණා මිනිසුන් මරා දැමීමට අමතරව හම ගසා මිනිසුන්ව මරන්නටත් ඩ්‍රැකියුලා අණකර තිබේ. තවත් ඇතැම් අවස්ථාවලදී ඔහු සතුටට පත්ව ඇත්තේ පණපිටින් මිනිසුන් තම්බමිනි. මව්කිරි බොමින් සිටි බිළිඳුන් මව් ඇකයෙන් ඇද ගින්නෙහි ලා රෝස් කළ බව ඇතැම් තැනෙක දැක්වේ. ඊළඟට ඒ අම්මලාගේ පියයුරු කපා ඔවුන්ගේ සැමියන්ට කන්නට දුන්නේ යැයි කියා ද ලිපිවල සඳහන්ව ඇත. අවසානයේදී උල් රිටිවල අමුණා ඒ ගැහැනුන්ගේ හා පිරිමින්ගේ ජීවිත කෙළෙවරකට පමුණුවන්නටත් ඩ්‍රැකියුලා පියවර ගෙන තිබේ.

ඩ්‍රැකියුලා ඝාතනය කළ පුද්ගලයන් සංඛ්‍යාව හරියටම කෙතෙක්දැයි කියා ගණන් නැත. එසේ වුවත් 80,000කට අධික පිරිසක් ඔහු අතින් ඝාතනය වන්නට ඇතැයි කියා පැවැසේ. මෙයින් 20,000කට ආසන්න පිරිසක් මරා දමා තිබෙන්නේ උල හිඳු වීමෙනි.

මේ තරම් දරුණු වැඩ කළ හැකි පෞරුෂයක් ඩ්‍රැකියුලාට හිමි වුණේ කෙසේ ද?. මේ ගැන කරුණු සොයන්නට අපට පිවිසිය හැකි වන්නේ අන් තැනෙකට නොව ඉතිහාසය වෙතයි.
1436 වසර වනවිට වොලැකියාහි පාලකයාව සිටියේ දෙවන ව්ලැද් ඩ්‍රැකියුල් ය. පාලන ආරම්භයෙන් වසර කිහිපයකට පසුව එනම් 1442 දී දෙවන ව්ලැද් ඩ්‍රැකියුල් සතුරන් අතට පත්ව විණ. එය සිදු වූයේ දෙවන ව්ලැද් ඩ්‍රැකියුල් සිය පුතුන් වූ තෙවන ව්ලැද් හෙවත් ඩ්‍රැකියුලාත්, රාදුත් (Radu) කැටුව ගොස් රාජතාන්ත්‍රික සාකච්ඡාවක් පවත්වද්දී ය. සාකච්ඡාවට අනෙක් පාර්ශ්වයෙන් සහභාගී වී සිටියේ ඔටෝමාන් සුල්තාන්වරයකු වූ දෙවන මුරාඩ් ය. සාකච්ඡාව දෙවන ව්ලැද් ඩ්‍රැකියුල්ව අත්අඩංගුවට පත් කරගන්නට ඇටවූ මර උගුලක් විණ. අවසානයේදී පියා සමඟ පුත්තු දෙදෙනා ද තුර්කියෙහි දේශපාලන සිරකරුවෝ බවට පත්වූවෝය. 1443ට ආසන්න කාලයේදී දෙවන ව්ලැද් ඩ්‍රැකියුල්, කොන්දේසි සහිතව අත්අඩංගුවෙන් නිදහස ලැබූ බව සඳහන් වේ. කොන්දේසි ප්‍රකාරව පුතුන් දෙදෙනා අත්අඩංගුවේ තැබීමට ඔහු එකඟ වියයුතු තිබිණ. මේ කාල වකවානු ගැන සලකා බලද්දී පෙනී යන්නේ අපේ කතා නායක වන ඩ්‍රැකියුලා ප්‍රතිවාදීන්ගේ අත්අඩංගුවට පත් වන්නේ වයස අවුරුදු එකොළහක දරුවකුව සිටියදී බවයි.

එකල තුර්කි අධිරාජ්‍යය ඉතා බලසම්පන්නව පැවැතිණ. දේශපාලන සිරකරුවන් බවට පත් අයියා – මලෝ දෙදෙනා වසර ගණනක් සිරගත ජීවිතයක් ගත කර තිබෙන්නේ බලසම්පන්න තුර්කි අධිරාජ්‍යයට යටත්ව පැවැති ටෝකට් නගරයේ බැව් කියැවේ. ටෝකට්, ඒ සමයේදී ඉතා ප්‍රකට නගරයක්ව පැවැති බවට තොරතුරු ඇත. ඉතා සරුසාර වෙළඳපොළක් පවා එහි තිබුණු බැව් ඉතිහාසයේ සඳහන්ව තිබේ. ටෝකට් සිපිරි මැදිරියේදී මේ රැඳවියන් දෙදෙනා අධ්‍යාපනය ලැබූවේ යැයි කියා ඇතැම් තැනෙක ලියැවී ඇත.

ඩ්‍රැකියුලා එදා සිරකර තැබූ කුටිය යැයි කියා සැක කෙරෙන කුටියක් සොයාගත් බව පුරා විද්‍යාඥයෝ පිරිසක් පසුගිය කාලයේදී ප්‍රකාශ කළහ. ඔවුන් මෙය ප්‍රකට කළේ උතුරු තුර්කියේ ටෝකට් මාළිගය (Tokat Castle) ආශ්‍රිතව කරන ලද කැණීම් පාදක කරගෙනයි. කැණීම්වලට සහභාගිවුණු පුරා විද්‍යාඥ ඊබ්‍රහිම් සෙටින් (Ibrahim Cetin) වරක් පවසා තිබුණේ මාළිගය වටා රහසිගත උමං මාර්ග පද්ධතියක් දකින්නට ලැබෙන බවකි. එකී උමං මාර්ග අතර තිබුණු රහසිගත සිර මැදිරි දෙකක් පුරා විද්‍යාඥයෝ සොයා ගත්හ. වධ හිංසන පමුණුවමින් ඒවා තුළ රැඳවියන් දෙදෙනා තබාගන්නට ඇති බවට විද්වතුන් අතර දැන් මතයක් ගොඩ නැඟී ඇත. ටෝකට් මාළිගය ආශ්‍රිත කැණීම්වලින් සොයා ගත් භූගත සිරමැදිරිවලින් එකක් ඩ්‍රැකියුලාගේ සිරමැදිරිය වන්නට ඇතැයි කියා අද විශ්වාස කෙරේ. එහෙත් ඩ්‍රැකියුලා රඳවා තබන්නට ඇත්තේ සොයා ගැනුන මැදිරි දෙකෙන් කුමන එකෙහිදැයි කියා තවමත් නිශ්චිත නිගමනයක් නැත. ඔටෝමාන්වරුන්ගේ සිර කුටිය තුළ සිටි කාලයේදී ඩ්‍රැකියුලා හිංසනයන්ට ලක් වූ බව මේ අනුව සිතන්නට පුළුවන.

ඩ්‍රැකියුලා සහ ඔහුගේ බාල සොයුරු රාදු සිර භාරයේ සිටි අවධියේදී ඩ්‍රැකියුලා පවුලේ සෙසු උදවියට යහපත් කළ දවසක් උදා වී තිබුණේ යැයි කිව නොහැකි ය. වොලැකියාහි පාලකයාව සිටි ඩ්‍රැකියුලාගේ පියා බලයෙන් පහ කරන ලදී. ඊට මුල් වූයේ වොලැකියාහිම හමුදා ප්‍රධානීන් බව සඳහන් වේ. ඩ්‍රැකියුලාගේ පියා පසුව ඝාතනය කෙරිණ. ඩ්‍රැකියුලාගේ වැඩිමහල් සොයුරකු වූ මිර්සියාට වධ හිංසා පමුණුවමින්, අන්ධ භාවයට පත් කරන ලද බව කියැ වේ. මිර්සියාව වළලා දමන ලද්දේ පණ පිටින්ම බැව් කියැවෙන ඉතිහාස සටහන් ඇත.

ඩ්‍රැකියුලාගේ පවුලේ වැඩිමහල් පිරිස මේ අන්දමට ඝාතනය වනවිට ඔටෝමන්වරුන් ඩ්‍රැකියුලාව නිදහස් කරන්නට පියවර ගෙන තිබේ. පාලන බලය අතට ගන්නට පැවැති නොතිත් ආශාව ඩ්‍රැකියුලාගේ ලෙයෙහි කැකෑරෙන්නට පටන් ගන්නේ මේ සමයේදී ය. 1448දී ඔහුට වොලැකියාහි පාලකයා වන්නට ඉඩ ලැබේ. පාලකයකුගේ භූමිකාවට එළඹී ඩ්‍රැකියුලාගෙන් මතුවන්නට පටන් ගන්නේ, සිරගත ජීවිතයේදී වධ හිංසනයන්ට ලක්වෙමින් වැඩුණු පෞරුෂය ද යන සැකය විද්‍යාඥයන්ට ඇත.

එහෙව් පෞරුෂයකින් හෙබි ඩ්‍රැකියුලා, මරණයට පත් වන්නේ වොලැකියා රාජ්‍යය, ප්‍රබල තුර්කි හමුදාවන්ගෙන් බේරාගන්නට ගිය ගමනේදී ය. ඒ වනවිට අර්බුධකාරී තත්ත්ව රැසක් සහ සන්නද්ධ අරගල කිහිපයක් හේතුවෙන් ඩ්‍රැකියුලාගේ ශක්තිය පිරිහෙමින් පැවැති බවට සාක්ෂි ඇත. තුර්කිය සමඟ එළැඹි යුද්ධයේදී හෙතෙම ජීවිතක්ෂයට පත් වුයේය. ඔහුගේ මරණය සිදුවන්නේ ඔහු තෙවන වර රජ පැමිණ මාස දෙකක කාලයක් ඉක්මවා යන්නට පළමුවයි. ඩ්‍රැකියුලාගේ මරණය ඝාතනයක් සේ සැලකේ. එය සිදුවුණේ කා අතින් ද? කොතැනකදී ද? කවදා ද? යන කිසිවක් අදටත් පැහැදිලි නැත. අනෙකක් තබා ඩ්‍රැකියුලා මිහිදන් කළේ කොතැනදීදැයි කියාවත් කිසිවකු දන්නේ නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි