×

මිය ගිය කතකගේ ගර්භාෂයෙන් උපන් ලොව පළමු දරුවා

මිය ගිය මවක විසින් දානය කළ ගර්භාෂයක් බද්ධ කිරීමෙන් පසුව එම ගර්භාෂයෙන් ලොව ප්‍රථම වතාවට සාර්ථක ලෙස බිළිඳෙක් බිහිකර ගැනීමට බ්‍රසීල වෛද්‍යවරුන් සමත් වී සිටිති.


මේ විස්කම වාර්තා වන්නේ බ්‍රසීලයේ සාවෝ පෝලෝ වෛද්‍ය විද්‍යාලයෙනි

මෙම ගර්භාෂ බද්ධය සිදුකිරීමට පෙර මිය ගිය කාන්තාවගේ ගර්භාෂය පැය 8 ක කාලයක් ඔක්සිජන් රහිතව පැවතී ඇති නමුත්, කළල රෝපණය සාර්ථක වීමට එයින් බලපෑමක් සිදුවී නොමැති බව ද වෛද්‍යවරු සතුටින් සඳහන් කරති.

මේ අන්දමින් දරු සුරතල් බැලීමට සමත් වූයේ 32 හැවිරිදි කාන්තාවකි. ඇය ජාන ගැටළුවක් හේතුවෙන් ගර්භාෂයක් රහිතව ඉපදුණු අයෙකි. බද්ධ කරන ලද ගර්භාෂය ලබාගෙන තිබුණේ මොළයේ ලේ ගැලීමකින් මිය ගිය 45 හැවිරිදි කාන්තාවකගෙනි.

ගර්භාෂ බද්ධයේදී ශිරා, ධමනි, බන්ධනී සහ යෝනි නාල එකිනෙක සම්බන්ධ කිරීම සඳහා වෛද්‍යවරුන්ට පැය 10කට අධික කාලයක් ගත වී ඇති බව ද සඳහන් ය. සැත්කමෙන් පසුව එම කාන්තාව දින 2 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇති අතර, පසුව දින 6 ක් විශේෂ සායනික ප්‍රතිකාර ලබා ඇත.

වෛද්‍යවරුන් පවසන්නේ ආගන්තුක ඉන්ද්‍රියක් වන බද්ධ කළ ගර්භාෂය ඇගේ ශරීරය විසින් ප්‍රතික්ෂේප කිරීම වළක්වා ගැනීම සඳහා ඇයට ප්‍රතිශක්තිමර්දන ඔසු 5 ක් ලබාදුන් බවයි. රුධිරය කැටි ගැසීම වැළැක්වීම සහ ආසාදන ඇතිනොවීම සඳහා ද තවත් ඖෂධ ගණනාවක් ලබාදීමට සිදුව තිබේ. මේ අන්දමින් ගර්භාෂ බද්ධය සාර්ථක වූ පසුව IVF ක්‍රමයෙන් නිෂ්පාදනය කර ගත් සරු ඩිම්භ ඇගේ ගර්භාෂයේ තැන්පත් කරනු ලැබීය.

මිය ගිය අයෙකුගෙන් ලබාගෙන බද්ධ කළ ගර්භාෂයකින් ලෝකයේ ප්‍රථම වතාවට බිළිඳෙකු උපත ලැබීම, වෛද්‍ය ඉතිහාසයේ සන්ධිස්ථානයකි. මෙය, ගර්භාෂයේ ගැටළු හේතුවෙන් සරු බව අහිමි වූ ලොව පුරා කාන්තාවන්ට සුබ ආරංචියක් වනු ඇත.

මේ වන විට ලෝකයේ සිදුකරන්නේ ජීවී දාකයන්ගෙන් ලබාගත් ගර්භාෂ බද්ධ කිරීමයි. ඇමරිකාව, ස්වීඩනය සහ සර්බියාව යන රටවලින් ඒ අනුව බිළිඳුන් සාර්ථක ලෙස අවස්ථා 12 කදී පමණ උපත ලබාඇති බව ‘ද ලැන්සෙට්‘ ජර්නලය සඳහන් කරයි. නමුත් ගර්භාෂ බද්ධය ලෝකයේ එතරම් සුලබ නොවන්නේ, ගර්භාෂ දානය කිරීමට ඉදිරිපත් වන කාන්තාවන් ඉතා අඩු හෙයිනි. වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, මේ සඳහා සුදුසු දායකයන් බවට පත්වන පවුලේ සාමාජිකයන් හෝ හිතවතුන් ලෝකයේ ඉතා අඩු ය. ඒ නිසා මේ සඳහා ප්‍රායෝගික වන එකම විසඳුම වී තිබෙන්නේ අදාළ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයන් සපුරාලන මියගිය කාන්තාවන්ගෙන් ලබාගන්නා ගර්භාෂ බද්ධ කිරීමයි.

මේ අතර මියගිය අයගේ ගර්භාෂ බද්ධ කිරීම මගින් දරුවන් බිහිකර ගැනීමට ද මීට පෙර අවස්ථා 10කදී ඇමරිකා එක්සත් ජනපදය, චෙක් සමූහාණ්ඩුව සහ තුර්කිය අතීතයේදී උත්සාහ ගෙන තිබුණද එය උත්සාහ සියල්ලම අසාර්ථක වී තිබේ.

එම උත්සාහය සාර්ථක වූ පළමු අවස්ථාව වශයෙන් මේ නිසා මෙය, ඉතිහාසගත වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි