×

හිස්බුල්ලා නායකයා ඊශ්‍රායලය සමඟ සටන් වදින බවට තර්ජනය කරයි

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ඇති ක්ෂණික තර්ජනය ලෙස සලකන අතර ඔවුන් සතුව ඊශ්‍රායලය ඉලක්ක කරගත් රොකට් සහ මිසයිල 150,000 ක් පමණ ඇති බව ඇස්තමේන්තු කර ඇත.


ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා බීරූට්හි අෂුරා චතුරශ්‍රයේ අතිවිශාල ජනකායක් අමතමින් සිය සංවිධානය ඊශ්‍රායලය සමඟ සටන් වදින බවට තර්ජනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔක්තෝබර් 7වන දා දකුණු ඊශ්‍රායලයේ 1,400කට වැඩි පිරිසක් මිය ගිය හමාස් ප්‍රහාරය පැසසුමට ලක් කරමින් ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලයට එරෙහිව කටයුතු කරන සිරියාව, ඉරාකය හා යේමනයේ ෂියා නායකයන්ට ස්තුති කර තිබිණි.

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රයලය හා හමාස් සංවිධානය අතර පවතින යුද්ධයට සම්බන්ධ නොවන ලෙස හිස්බුල්ලා සංවිධානයට හා එයට සත්කාරකත්වය ලබා දෙන ඉරානයට අනතුරු අඟවා ඇති අතර මේ සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ප්‍රකාශ කර තිබුණේ, එක්සත් ජනපදයට අපව බිය වැද්දවිය නොහැකි බවයි.

මේවන විටත් ලෙබනන් දේශසීමාව අවට ඊශ්‍රයල හමුදාව හා හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් පවතින අතර ඉන් හිස්බුල්ලා සටන්කාමීන් 50 කට වැඩි පිරිසක් , ඊශ්‍රයල සොල්දාදුවන් හත් දෙනෙකු සහ එක් සිවිල් වැසියෙකු මිය ගොස් තිබේ. හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ඇති ක්ෂණික තර්ජනය ලෙස සලකන අතර ඔවුන් සතුව ඊශ්‍රායලය ඉලක්ක කරගත් රොකට් සහ මිසයිල 150,000 ක් පමණ ඇති බව ඇස්තමේන්තු කර ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි