×

අහසින්, පොළවෙන් හා සාගරයෙන් ගාසා තීරයට පහර දීමට ඊශ්‍රායල හමුදාව සුදානමින්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු හමාස් සහ ඉරානය සිය සහයෝගීතාවය දිගටම පවත්වාගෙන යන බව රොයිටර් වාර්තා කර තිබේ.


ඊශ‍්‍රායලය විසින් උතුරු ගාසා තීරයේ සිටින මිලියනයකට අධික පලස්තීනුවන්ට දකුණට ඉවත්ව යන ලෙස ලබා දුන් කාල සීමාව අවසන්හෙ වීමත් සමඟ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අණ පරිදි අහසින්, පොළවෙන් හා සාගරයෙන් ගාසා තීරයට පහර දීමට ඊශ්‍රායල හමුදාව සුදානම් බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යාලේඛනවලට අනුව ගත වූ පැය 24 තුළ ළමුන් සහ කාන්තාවන් ඇතුළුව පලස්තීනුවන් 300ක් පමණ මියගොස් 800 පමණ තුවාල ලබා තිබේ. සමස්තයක් ලෙස ඊශ්‍රායල ප්‍රහාර හමුවේ 2,200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර හමාස් ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ 1300ලත වැඩි පිරිසක් මියගොස් තවත් බොහෝ ප්‍රමාණයක් අතුරුදන්ව තිබේ.

හමාස් විසින් රඳවාගෙන සිටින හා අතුරුදන් වු ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිටත විරෝධතාවයක නිරත වන අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් වත්මන් අර්බුදය පිළිබඳව ඊශ්‍රායල නායක බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන අධිකාරියේ නායක මහමුද් අබ්බාස් යන දෙදෙනාටම කතා කළ බවයි.

ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ ඊශ්‍රායලයේ සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සඳහා වන සියලු උත්සාහයන් සඳහා එක්සත් ජනපදයේ නොසැලෙන සහය ජනාධිපති බයිඩන් තහවුරු කළ බවත්, මානුෂීය සැපයුම් ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත ළඟාවීම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊජිප්තුව, ජෝර්දානය, ඊශ්‍රායලය සහ කලාපයේ අනෙකුත් අය සමඟ එක්සත් ජනපද සම්බන්ධීකරණය කළ බවත්, අබ්බාස් සමඟ කළ සාකච්ජාවේදී ඊශ්‍රායලයට එරෙහිව හමාස්ගේ “ම්ලේච්ඡ ප්‍රහාරය” හෙළා දුටු බයිඩන් මානුෂිය ප්‍රයත්නයන් සාක්ෂාත් කර ගැනීම සඳහා පලස්තීන අධිකාරියට ඔහුගේ පූර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කළ බවත්ය.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු හමාස් සහ ඉරානය සිය සහයෝගීතාවය දිගටම පවත්වාගෙන යන බව රොයිටර් වාර්තා කර තිබේ.

හමාස් නායක ඉස්මයිල් හනියා කටාර්හිදී ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් හමුවී ඇති අතර එහිදී ඊශ්‍රායල ඉලක්ක වෙත හමාස් එල්ල කළ ප්‍රහාරය ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස සඳහන් කර තිබු ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගීතාවය දිගටම පවත්වාගෙන යාමට එකඟ වී තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි