×

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..


සටහන: සශිකලා මධුෂාණි,මැයි 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හමාස් සංවිධානය සමඟ සටන් විරාම සාකච්ඡා නොතකා ඊශ්‍රායලය දකුණු ගාසා නගරය වන රෆා ආක්‍රමණ සිදු කරනු ඇති බවට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහතික වී තිබේ.

මේ වන විට සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට උත්සාහ කරමින් පවතින මුත් ඊශ්‍රයල ප්‍රාණ ඇපකරුවන්ගේ රැස්වීමක් අමතමින් ඊශ්‍රායල් අගමැතිවරයා සඳහන් කර තිබුණේ, තමා ගිවිසුමක් ඇතිව හෝ නැතිව රෆා ආක්‍රමණය කරන බවයි. මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ කාර්යාලයද නිල වශයෙන් නිවේදනය කර තිබුණේ, ‘අපි රෆා වෙත ඇතුළු වන අතර, ගනුදෙනුවක් ඇතිව හෝ නැතිව එහි හමාස් බලඇණි තුරන් කරන්නෙමු’ යනුවෙනි.

ඊශ්‍රායල් ප්‍රහාර ඇරඹුණු දා සිට ප්‍රහාරවලින් බෙර්රිමට පලා ගියා පලස්තීනුවන්ගේ අවසාන නවාතැන රෆා වන අතර ජනාකීර්ණ නගරයේ අවතැන් වූවන් ආහාර, ජලය සහ ඖෂධ හිඟයකට මුහුණ දී සිටියි. කෙසේ නමුත් ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කරන්නේ හමාස් සටන්කාමීන් රෆා හි සැගව සිටින බවත් ඔවුන් විනාශ කිරීම සිය අපේක්ෂාව වන බවත්ය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රෆා ආක්‍රමණය නොකරන ලෙස ඔහුගේ ස්ථාවරය නැවත නැවත ඊශ්‍රායල් අගමැතිවරයාට මතක් කර ඇති අතර ඊයේ(30)දිනයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබුණේ, රෆා ආක්‍රමණය වැලැක්වීමට කළ හැකි සෑම දෙයක්ම කරන ලෙසයි. බටහිර ඉවුරේ පිහිටි පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් සඳුදා කියා සිටියේ රෆා ආක්‍රමණය “පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය” වනු ඇති බවයි.

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ පෙර නොවූ විරූ ප්‍රහාරයේදී හමාස් විසින් පැහැරගත් 253 දෙනාගෙන් ප්‍රාණ ඇපකරුවන් 130ක් පමණ තවමත් ගණන් බලා නොමැත. ඔවුන්ගෙන් අවම වශයෙන් 34 දෙනෙකු මියගොස් ඇතැයි අනුමාන කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි