×

මනාව සබඳතා සරල කළ Jack Dorsey

ලෝ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ ජීවිත කතාව


සාර්ථකත්වයේ ඉහළටම පා නැගු මිනිසුන් ඕනෑම යුගයකදී, ඕනෑම පරම්පරාවක දකින්න පුළුවන්. මේ අතර බොහෝ දෙනෙක් ජීවිතයේ ඉහළටම යන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. එහෙත් ඒ අතර සමාජීය හේතූන් මත, සමාජයේ යහපැවැත්ම උදෙසා තමන්ගේ සාර්ථකත්වය කැප කළ මිනිසුන් ඉන්නෙ අතලොස්සක් පමණයි.

වොරන් බුෆෙට්, ස්ටීව් ජොබ්ස්, මාර්ක් සක්ර්බර්ග් කියන්නෙ එවැනි ව්‍යාපාරිකයන්. එම නාමයන් අතරට අලුතින් එක් වුණ තවත් කෙනෙක් ඉන්නවා. ඔහු ජැක් ඩෝර්සි (Jack Dorsey). ජැක් ඩෝර්සි කියන්නෙ ට්විටර් වෙබ් සමාජ ජාලා වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයා. ඒ වගේම ඔහු ඇමෙරිකාවේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. අනපේක්ෂිත අදහස් ජැක් ඩෝර්සිව මහා ව්‍යාපාරිකයෙක් බවට පත් කරනවා. මේ ජැක් ඩෝර්සිගේ කතාව.

ජැක් ඩෝර්සි 1976 නොවැම්බර් මාසයේ 19 වනදා ඇමෙරිකාවේ මිසූරි හි ශාන්ත ලුයීස්හි දී උපත ලබනවා. ඩෝර්සිගේ පියා වූ ටීම් ඩෝර්සි වෘත්තියෙන් වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ඉන්ජින්රුවරයෙක්. එනිසාම ඔහුට රට වටා ගමන් කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ලැබෙන සෑම අවස්ථාවකදීම සියා පියා සමඟ එම ගමන්වලට සහභාගී වීම ජැක්ගේ ඩොර්සිගේ විනෝදාංශයක් බවට පත් වෙනවා. ඩෝර්සි පවුලට ශාන්ත ලුයිස්හිදී නිවෙස් කිහිප වරක්ම මාරු කරන්නට සිදු වෙනවා. ඔවුන් කොතැනකට ගියත් ජැක් ඩෝර්සි නගරයේ සිතියමක් මිලදී ගනිමින් රාත‍්‍රී කාලයේ නගරය පුරා සැරිසරන්න පුරුදු වෙනවා.
ජැක් ඩෝර්සි කුඩා කාලයේ නිශ්ශබ්ධ චරිතයක්. ඔහු වැඩිපුර කාලය ගත කළේ තනියම.

ඔහු වයසින් වැඩෙත්ම ඒ ගැටලුවට ඔහු විසින්ම විසඳුම් සොයා ගන්නවා. ඒ විවිධ රංගන තරගවලට සහභාගී වීමෙන්. බිෂොප් ඩුබෝර්ජ් උසස් පාසලෙන් අධ්‍යාපනය හදාරන ඩෝර්සි කුඩා කාලයේ සිටම පරිඝනක සහ සන්නිවේදනය විෂයයට ඇලුම් කරනවා. ටැක්සි රියදුරන් සම්බන්ධීකරණය කිරීමේ තාක්ෂණික ක‍්‍රියාවලිය සහ එහිදී සිදු විය යුතු සන්නිවේදන ක‍්‍රියාවලිය පිළිබඳව ඔහු මහත් උනන්දුවක් දක්වනවා. ඒ නිසාම වයස අවුරුදු 15 පමණ විට taxicab යන සමාගම වෙනුවෙන් පරිඝනක මෘදුකාංගයක් නිර්මාණය කරන්න ඩෝර්සි සමත් වෙනවා.

විද්‍යා සහ තාක්ෂණ මිසුරි විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ඩෝර්සි ඉතා කෙටි කාලයකින් නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. කොහොම වුණත් අවසානයේදී බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් සහ මාර්ක් සකර්බර්ග් පරිගණක ව්‍යවසායකයන්ගේ සම්ප‍්‍රදාය අනුව යමින් ඩෝර්සි උපාධිය අවසන් නොකරම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සමු දෙනවා. ඒ අනුව කැලිෆෝර්නියාවේ ඕක්ලන්ඞ් වෙත යන ඔහු එහිදී පරිඝනක මෘදුකාංග සමාගමක් ආරම්භ කරනවා. ඒ 2000 වසරේදී. එම සමාගම ආරම්භ කර කෙටි කාලයක් ඇතුළත ක්ෂණික පණිවුඩ හුවමාරු කරගැනීමේ පහසුකම් සහිතව එම මෘදුකාංගය පුළුල් කිරීමට ඩෝර්සි කල්පනා කරනවා.

එම සංකල්පය සමඟින් ඩෝර්සි Odeo නම් සමාගම සමඟ එක් වී කටයුතු කරනවා. “ඔහු අප වෙත ආවේ නව අදහස් කිහිපයක් සමඟින්. ඔහුට අවශ්‍ය වුණා ඔහුගේ නව අදහස් යහළුවන් සමඟ බෙදා ගන්නට. ඉතින් මම ඔහුගේ ඇසුවා අපි දැන් මොකක්ද කරන්නේ කියලා. අවසානය්දී අපි අලූත් යමක් නිර්මාණය කළා.” Odeo සමාගමේ හිටපු විධායක නිලධාරී සහ ටිවිටර් සමාගමේ සම නිර්මාතෘවරයකු වන බිඩ් ස්ටෝන් පවසනවා. ඒ අනුව ජැක් ඩෝර්සි, බිඩ් ස්ටෝන් සහ Odeo සමාගමේ සම නිර්මාතෘවරයකු වන ඊවාන් විලියම්ස් යන තිදෙනාගේ මූලිකත්වයෙන් නව ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. ඒ අද ඔබ කවුරුත් හඳුනන ට්විවර් (Twitter). ඒ 2006 වසරේදී.

2006 වසරේ 6 මාර්තු 21 ඩෝර්සි තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් පණිවුඩය මුදා හරිනවා. ඒ “just setting up my twitter” ලෙසින්. ඉන් පසු කෙටි පණිවුඩ 140ක් පරිශීලකයන් අතර බෙදා හරිනවා. එය සිදු වන්නේ පර්යේෂණ මට්ටමින්. එම සටහන 85 521 වරක් රී ට්වීට් වෙනවා. ඒ වෙනුවෙන් ලැබී ඇති ෆෙවරිට්ස් ගණන 64 394ක්. අවසානයේ දී 2006 ජුලි 15 දා ලෝකයා ට ට්විවර් සමාජ ජාලා වෙබ් අඩවිය විවෘත වෙනවා.
ආරම්භයේදී ටිවිටර් හදුන්වා දෙන්නේ Twittr ලෙසින්. ඊට e අකුර එකතු වන්නේ නැහැ. ඒ වචනයක අකුරක් අඩුවෙන් ලිවීම නිසා ජනප‍්‍රියත්වයක් ලබා ගත හැකියි යන එකළ තිබූ විශ්වාසය නිසා. නමුත් පසු කාලයේදී ඊට e අකුරද එකතු කරමින් Twitter ලෙස නම් කරනවා. 2010 සිට 2017 මේ දක්වාම ට්විවර් සීග‍්‍රයෙන් ලාබ ලබන ආයතනයක් බවට පත් කරන්නට ජැක් ඩෝර්සි ඇතුළු කණ්ඩායම සමත් වෙනවා.

2013 වසරේ නොවැම්බර් මාසයේදී ට්විවර් සමාගමේ ප‍්‍රථම කොටස් නිකුතුව සිදු වෙනවා. ඇත්ත වශයෙන්ම එය ජැක් ඩෝර්සිගේ වාසනාව උරගා බලන්නක්. ට්විවර් සමාගමේ කොටසක ආරම්භක වටිනාකම ඩොලර් 26 වූ අතර එය එක් දිනක් ඇතුළතදී ඩොලර් 45 දක්වා ඉහළ යනවා. ඒ අනුව පැය කිහිපයක් ඇතුළතදී ජැක් ඩෝර්සි ප‍්‍රකොටපතියකු බවට පත් වෙනවා. “මගේ ඉලක්කය මූලිකත්වය සරල කිරීමයි. ඇත්ත වශයෙන්ම අපගේ මූලික මානව සබඳතා වඩාත් සරල ලෙස ගොඩ නගා ගත යුතුයි.” ට්විවර් සම නිර්මාතෘ ජැක් ඩෝර්සි එහෙම කියනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි