×

අසමත් බවට සමුදුන් ලොව අංක එකේ කෝටිපතියා Jeff Bezos – ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ ජීවිත කතාව

Jeff Bezos - ජෙෆ් බෙසොස්...... පසුගියදා හෙළි වූ ආකාරයට, එනම් අලුත්ම කෝටිපති ලැයිස්තුවට අනුව ලෝකයේ අංක එකේ කෝටිපතියා ඔහු ය.


ලෝකයේ කෝටිපතියන් ලැයිස්තුගත කරන සුප්‍රසිද්ධ බ්ලූම්බර්ග් බිලියනයර්ස් ඉන්ඩෙක්ස් (Bloomberg Billionaire Index) විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්ත අනුව ලොව අංක එකේ කෝටිපතියා බවට ඇමසන් (Amazon) සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් (Jeff Bezos) පත් වෙනවා.

ඒ මෙතෙක් කාලයක් ලොව අංක එකේ කෝටිපතියා ලෙස නම් දරා සිටි මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් හට දෙවැනි තැන හිමි කරදෙමින්. 2017 වසරේ අප්‍රේල් මාසය වන විට ලොව දෙවැනි ධනවතා බවට ජෙෆ් පත් වන්නේ එම ලස්යිස්තුවේ දෙවන තැන හිමිකරගෙන තිබූ වොරන් බෆට් පසුකර යමින්. ඔහු දෙවන ස්ථානයේ නතර වී සිටින්නේ වසරකුත් මාස දෙකක කාලයක් පමණයි.

එසේ නම් මේ සුපිරි වේගවත් ධනවතා කවුරුන්ද? මේ කතාව ඔහුගේයි.

What is Jeff Bezos' net worth?

Metro

ජෙෆ් බෙසොස් (Jeff Bezos) වගේම Amazon.com කියන්නේ අපට නුහුරු නම් නෙවෙයි. Amazon.com කියන්නේ ලෝකයේ අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණනු ලබන එනම් ඊ කොමර්ස් සහ ක්ලවුඩ් කම්පියුටින් සිදු කරනු ලබන ලොව ප්‍රමුඛතම සමාගමක්. එහි හිමිකරුවා නැතිනම් නිර්මාතෘවරයා තමයි ජෙෆ් බෙසොස්. ඒ වගේම බ්ලූ ඔරිජින් (Blue Origin) යන අභ්‍යවකාශ සමාගමේ මෙන්ම වොෂින්ටන් පොස්ට් පුවත්පතේ හිමිකරුවා වන්නේද ජෙෆ්.

Amazon.com හරහා ලොව සිල්ලර වෙළඳාම උඩුයටිකුරු කරන ජෙෆ් අනෙක් පැත්තෙන් Blue Origin අභ්‍යවකාශ තරඟයේ නව යුගයක් කරන්නට කටයුතු කරනවා. ඒ විශ්වයේ රහස් සොයා යන ඉතා දුලභ කෝටිපතියෙක් බවට පත් වෙමින්.

Jeff Besoz

Jeff Besoz

ජෙෆ් උපත ලබන්නේ 1964 ජනවාරි 12 වනදා. ළමා කාලයේ සිටම යමක් කරන්නට පෙර ඒ පිළිබඳව හොඳින් සිතන්නට පුරුදුව සිටි ජෙෆ් නිවසේ ගරාජයේ තමාගේම රසායනාගාරයක් පවත්වාගෙන යනවා. මේ කාලයේදී පරිඝනකයට පෙම් බඳින ජෙෆ් ප්‍රින්ස්ටන් සරසවියෙන් පරිඝනක ඉංජිනේරු සහ විද්‍යා උපාධිය ලබා ගන්නවා. උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව වෝල් වීදියේ රැකියාවක් කරන ජෙෆ් 1990 වසරේදී එහි D.E. Shaw නම් ආයෝජන සමාගමේ ළාබාලතම උප සභාපතිවරයා බවට පත් වෙනවා. ජෙෆ් ට සිය අනාගත බිරිඳ Mackenizie හමු වන්නේ මෙහිදීයි.

ඉන් වසර 04කට පසුව එනම් 1994 වසරේදී ඔහු Amazon.com ආරම්භ කරනවා. ඒ විශාල අවධානමක් භාර ගනිමින්. මේ ව්‍යාපාරය සඳහා කාර්යාලීය පහසුකම් සපයන්නේ ජෙෆ්ගේ රසායනාගාරය වූ නිවසේ ගරාජය. මිතුරන් 300 දෙනකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කළ Amazon.com අන්තර්ජාල වෙළඳපොළෙහි මුල්ම විකුණුම් භාණ්ඩය වන්නේ පොත්. ඒ අනුව කිසිදු මාධ්‍ය අනුග්‍රහයක් නොමැතිව දවස් 35ක් ඇතුළත ලෝකයේ රටවල් 45කට එක්සත් ජනපදය හරහා අන්තර්ජාලය මඟින් පොත් විකුණන වේගවත්ම ව්‍යාපාරය බවට Amazon.com පත් වෙනවා. එමඟින් මාස දෙකක් ඇතුළතදී සතියකට ඩොලර් 20,000ක ආදායමක් උපයන්න ඔවුන් සමත් වෙනවා.

ඒ සමඟම ගරාජයෙන් ආරම්භ කරන ව්‍යාපාරය කෙටි කාලයක් තුළදී ලොව පුරා වේගයෙන්ම ව්‍යාප්ත වන අන්තර්ජාල භාණ්ඩ විකුණුම් වෙළඳපොල බවට පත් වෙනවා. අද වන විට Amazon.com ඩී වී ඩී තැටියේ සිට සංගීතය, සංයුක්ත තැටි, වීඩියෝ පට, මෘදුකාංග, ළදරු නිෂ්පාදන, ඇඟලුම්, කාන්තා උපකරණ, ආහාර වර්ග, රූපලාවන්‍ය උපකරණ, මුළුතැන්ගෙයි භාණ්ඩ, රන් ආභරණ, අත් ඔරලෝසු, තණකොළ, ගෙවතු භාණ්ඩ, ක්‍රීඩා උපකරණ, මෝටර් රථ යනාදිය දක්වා අන්තර්ජාල ඇනවුම් හරහා නිවසටම ගෙනත් දෙනව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.

එසේම ජෙෆ් විසින් 2000 වසරේදී ආරම්භ කළ Blue Origin අභ්‍යවකාශ යානා සමාගම 2015 වසරේදී අභ්‍යවකාශයේ අත්හදා බැලීම් සිදු කරනවා. ඉන් ඔහු බලාපොරොත්තු වන්නේ නුදුරේදීම මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් ගුවනට යැවීමටයි.

මෙම ප්‍රධාන ව්‍යාපාර දෙකට අමතරව තවත් ව්‍යාපාරික ආයෝජන රැසක් ජෙෆ්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල සමඟ වර්තමාන අංක එකේ කෝටිපතියා වන ජෙෆ් බෙසොස්ගේ වත්මන් වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 150 ක් හෙවත් පවුම් බිලියන 113 ක්.

ඒ සියල්ල හිමි කරගත් ජෙෆ් මෙන්න මෙහෙම කියනවා. ” මම යම් කිසිවක් අසමත් නම් මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. නමුත් යමක් කිරීමට උත්සහ නොකිරීම පිළිබඳ මම කනගාටු වෙනවා.” ජෙෆ් බෙසොස්ගේ සාර්ථකත්වයේ රහස් එයයි.

REUTERS/Mike Segar/File Photo

FILE PHOTO – Amazon President, Chairman and CEO Jeff Bezos speaks at the Business Insider’s “Ignition Future of Digital” conference in New York, U.S. on December 2, 2014. REUTERS/Mike Segar/File Photo



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි