×

යෝනි මාර්ගයේ හිතකර බැක්ටීරියා හිඟකම ඩිම්භකෝෂ පිළිකාවලට අත වනයි!

ඩිම්භකෝෂ පිළිකාව යනු, ලොව පුරා කාන්තාවන්ට මරු කැඳවන 5 වැනි භයානකම පිළිකා වර්ගයයි.


යෝනි මාර්ගයේ වර්ධනය වන බැක්ටීරියා පිළිබඳ පර්යේෂණ කිරීම මගින්, පිළිකා අවදානම සඳහා වෙනම පරීක්ෂණ නොකර, ඩිම්භ කෝෂ පිළිකා (Ovarian Cancer) හඳුනාගත හැකි බව වෛද්‍ය පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

මෙම පර්යේෂණය සිදුකරන්නේ ලන්ඩනයේ යුනිවසිටි කොලීජිය විසිනි.

ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව හිතකර බැක්ටීරියාද වර්ධනය වන අතර ලෝ ප්‍රකට ලැන්සෙට් ජර්නලයට අනුව, මෙය ස්ත්‍රියකගේ ඩිම්භකෝෂ පිළිකා අවදානම පිළිබඳ දර්ශකයක් වශයෙන් යොදාගත හැකිය.

ඩිම්භකෝෂ පිළිකා අවදානම

එංගලන්තයේ පමණක් වසරකට කාන්තාවන් 7300 ක් පමණ ඩිම්භකෝෂ පිළිකාවට අලුතෙන් ගොදුරු වන බව සොයාගෙන තිබේ. මුළු ලෝකයම සැලකූ විට මේ තත්වය මිලියන ගණනකි. ඩිම්භකෝෂවල අනවශ්‍ය සෛල බෙදීමක් ලෙස හටගන්නා මෙම පිළිකාවේ ස්වභාවයන් 30 ක් පමණ ඇති බවට සැලකෙන අතර, පහත දැක්වෙන්නේ ඩිම්භකෝෂ පිළිකාව දැකගත හැකි ප්‍රධාන තත්වයන් 3 වේ.

  • epithelial tumors
  • stromal tumors
  • germ cell tumors

අනෙකුත් පිළිකා වර්ග මෙන්ම ඩිම්භකෝෂ පිළිකාව ද මුල් අවධියේදී හඳුනාගත හැකි නම් සාර්ථක ලෙස මැඬ පැවැත්විය හැකිය. නමුත් ඩිම්භකෝෂ පිළිකාව, නිතිපතා වෛද්‍ය පරීක්ෂණවලට ලක් නොවන අයෙකුට පහසුවෙන් හඳුනාගත නොහැකි ය. එයට ප්‍රධාන හේතුවක් වන්නේ ශරීර අභ්‍යන්තරයෙන් දැනෙන අපහසුතාවය සහ ඉදිමුණු ස්වභාවය සාමාන්‍ය තත්වයන් ලෙස සැලකීමට කාන්තාවෝ බොහෝ විට පුරුදු වී සිටිති. ඒ නිසා පිළිකාව බොහෝ දුර පැතිරෙන තෙක්ම කාන්තාවන්ට මෙය හඳුනාගත නොහැක. ඩිම්භකෝෂ පිළිකා හටගැනීමට නිශ්චිත හේතුවක් නැතත්, වියපත් වීම, පවුල් ඉතිහාසයක් පැවතීම (ඩිම්භකෝෂ පිළිකා හෝ පියයුරු පිළිකා සම්බන්ධයෙන්) සහ අධික තරබාරු බව විසින් මේ තත්වය උත්ප්‍රේරණය කරන බව සොයාගෙන තිබේ. එයට අමතරව නවතම පර්යේෂණය ප්‍රකාරව පර්යේෂකයන් දැන් විශ්වාස කරන්නේ යෝනි මාර්ගය ආශ්‍රිතව ජීවත් වන හිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩුකම ද මේ සඳහා වගකිවයුතු බවයි.

පිළිකාව වැළඳුණු ඩිම්භකෝෂයක් (medlineplus.gov )

ලැක්ටොබැසිලස්

ක්ෂුද්‍ර ජීවීන් මිනිස් ශරීරයේ බොහෝ කොටස්වල ජීවත් වෙති. ඔවුන් විසින් අපගේ ශරීර තුළ වෙනම පරිසර පද්ධති රාශියක් බිහිකරගෙන තිබෙන අතර, මෙය ‘මයික්‍රොබියෝමය‘ නම් වේ. මේ අතරින් ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් මිනිසාගේ යහ පැවැත්මට අත්‍යාවශ්‍ය බව ද අප අමතක නොකළ යුතුය. ඒවා ‘හිතකර බැක්ටීරියා‘ වැනි නම්වලින් හැඳින්වේ. යෝනි මාර්ගය ආශ්‍රිතව ජීවත් වන එවන් හිතකර බැක්ටීරියාවක් වන්නේ ‘ලැක්ටොබැසිලස්‘ (lactobacillus) ය. බැසිලස් කාණ්ඩයට අයත් මෙම බැක්ටීරියාව විසින්, අහිතකර බැක්ටීරියා යෝනි මාර්ගයේ ඉහළට ගමන් කිරීම වළක්වාලමින් ඩිම්භකෝෂ ඇතුළු කාන්තාවන්ගේ අභ්‍යන්තර ප්‍රජනන ඉන්ද්‍රියයන් ආරක්ෂා කරන බව සොයාගෙන ඇත.

මෙහි නිල් පැහැයෙන් දැක්වෙන්නේ නිරෝගී යෝනි ස්‍රාවයක් තුළ දැකගත හැකි දණ්ඩාකාර ලැක්ටොබැසිලස් බැක්ටීරියාවයි. නිරෝගී ස්ත්‍රී ප්‍රජනන පද්ධතියකට මෙම බැක්ටීරියාව අත්‍යාවශ්‍ය ය.
medlineplus.gov

ලන්ඩනයේ යුනිවසිටි කොලීජියේ පර්යේෂකයන් විසින් කාන්තාවන් 176 දෙනෙක් යොදගෙන සිදුකළ නවතම අනුව එයින් කාන්තාවන් 109 දෙනෙකුට ඩිම්භකෝෂ පිළිකාව වැළඳී තිබුණේ BRCA1 ජාන ලෙස පොදුවේ හඳුන්වන BRCA1 genes ප්‍රවේණිකව උරුම වී තිබූ නිසා ය. නමුත් එවැනි ප්‍රවේණික අවදානමක් නොමැති කාන්තාවන් 295 දෙනෙකුට ද ඩිම්භකෝෂ පිළිකාව වැළඳී ඇති බව පර්යේෂණයේදී හෙළි විය. ඔවුන්ගේ දැකිය හැකි වූ කැපී පෙනෙන ලක්ෂණය වූයේ යෝනි මාර්ගය ආශ්‍රිතව ජීවත් වන ලැක්ටොබැසිලස් නමැති හිතකර බැක්ටීරියාවේ අඩු කමයි.

මේ අතර මෙම පර්යේෂණය, මේ සම්බන්ධව සිදුකෙරී ඇති තවත් වැදගත් පර්යේෂණයක් සමග ද සමානුපාතික වේ. එනම්, අනවශ්‍ය ලෙස vaginal hygiene products භාවිතා කරන කාන්තාවන් ගේ මෙම බැක්ටීරියාව දැකිය හැකි වන්නේ අඩු ප්‍රතිශතයකින් බවයි.

මොනවද මේ vaginal hygiene products?

vaginal hygiene products යනුවෙන් හඳුන්වන්නේ මාසික ඔසප්වීම දිනවලදී ප්‍රධාන වශයෙන් කාන්තාවන් විසින් භාවිතා කරන කෘතිම ආදේශකයන් ය. මේවා සැබවින්ම ආර්තව ස්‍රාවයන් පමණක් නොව, යෝනි මාර්ගයේ සාමාන්‍ය ස්‍රාවයන් උරා ගැනීම සඳහා ද භාවිතා කරයි. මේ අනුව කෘතිම සනීපාරක්ෂක තුවා ආදිය මෙන්ම පෑන්ටි ලයිනර්ස් ද (Pantyliners, Sanitary napkins,Tampons) මේවාට අයත් වේ. තවද යෝනි ප්‍රදේශයේ ආලේප කරන සනීපාරක්ෂක ක්‍රීම්වර්ග ද මෙයට අයත් වේ.

ඇතැම් කාන්තාවන් මාසික ඔසප්වීම අවසන් වීමෙන් පසුව ද සනීපාරක්ෂක තුවා භාවිතයට හුරු වී සිටින අතර, තවත් අය යට ඇඳුම්වල පිරිසිදුතාවය වෙනුවෙන් පුරුද්දක් වශයෙන් පෑන්ටිලයිනර්ස් භාවිතා කරති. මේ අනුව මෙම පර්යේෂකයන් යෝජනා කරන්නේ මේවා භාවිතා කිරීම මගින් යෝනි මාර්ගයේ ජීවත් වන හිතකර බැක්ටීරියා විනාශ වී ඔවුන්ගේ ඩිම්භකෝෂ පිළිකා අවදානම ඉහළ යන බව ය.

Source: BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි