×

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ අතරට නැවත පැමිණීම සතුටක් වන බවත්, ඒකාධිපතිත්වයෙන් රට බේරා ගැනීමට බිලියන 1.4 ක ජනතාව එකට එකතු විය යුතු බවත්ය.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 11,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අගනුවර ප්‍රදේශයේ මත්පැන් ප්‍රතිපත්තිය සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පසුගිය මාර්තු මස 21 දින අත්අඩංගුවට ගනු ලැබූ ආම් ආද්මි පක්ෂය (AAP)නායක අරවින්ද් කෙජ්රිවාල් මැතිවරණ කටයුතු වෙනුවෙන් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දැඩි විවේචකයෙකු වන කෙජ්රිවාල්, රට පුරා අදියර හතක ඡන්දයේ අවසාන දිනය වන ජුනි 1 වනදා දක්වා ඇප මත සිටින අතර, ජුනි 2 වනදා නැවත නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීමට සිදුවනු ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව අප්‍රේල් 19 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළ අතර මැයි 7 වැනිදා පැවැත්වෙන තුන්වැනි අදියරේ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ආසන 543 න් අඩකට වැඩි ප්‍රමාණයක මැතිවරණය මේ වනවිට අවසන් වී තිබේ. කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය (AAP) විසින් පාලනය කරනු ලබන ප්‍රදේශ දෙක වන නව දිල්ලිය ඇතුළත් ජාතික අගනුවර ප්‍රදේශය සහ උතුරු පන්ජාබ් ප්‍රාන්තය පිළිවෙලින් මැයි 25 සහ ජූනි 1 යන දිනවල මැතිවරණයට ඉදිරිපත් වේ. ජූනි 4 වැනිදා ඡන්ද ගණන් කෙරෙන අතර ප්‍රතිඵල එදිනම ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වේ.

දිල්ලියේ තිහාර් බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ‘ඔබ අතරට නැවත පැමිණීම සතුටක් වන බවත්, ඒකාධිපතිත්වයෙන් රට බේරා ගැනීමට බිලියන 1.4 ක ජනතාව එකට එකතු විය යුතු බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි