Mysterious Kazakhstan village – Kalachi The ‘Sleepy Hollow’
ගෙදර සිටි පූසා හේතුවක් නැතිව හිටි අඩියේම වාගේ “පිස්සු නටන්නට” පටන් ගත්තේය. උගේ “පිස්සු නැටිල්ල” ඇරඹුණේ අමුතු තාලයේ “ඥාව්” ගෑමකිනි. බළලාගේ “ඥාව්” ගෑම කෙනෙකුට ඉහිලුම් නොදෙන තරමට අමිහිරි සහ කර්කෂක ස්වරයකට පෙරළෙන්නට වූයේය. ඉහිලුම් නොදෙන මේ වධක බළල් ගීතය අඩු තරමින් පැයක්වත් තිබිණ. ඒ කරදර කාලය ගෙවී අවසන් වුණේ බළලාට තමන්ගේ අයිතිකාරිය යෙලෙනාවවත්, තමන් සමඟ නිවසේ සිටි හිත මිතුරු සුනඛ තඩියාවවත් හඳුනාගන්නට බැරිව නන්නාත්තාර වීමෙනි. ඌ ඒ දෙදෙනාටම හපාකන්නට, කඩා පනින්නට පටන් මරු විකල්ලෙන් මෙනි. ගෙදර බිත්ති, මේස, පුටු යානාදිය සම්බන්ධයෙන් බළලා තුළ තිබුණු අවබෝධය නැත්තටම නැති වී තිබිණ. රහමෙරෙන් පදම් වී අවසිහියට පත් කෙනෙකු මෙන් බළලා වැනි වැනී ඒවායෙහි හැපෙමින් අතනට මෙතැනට විසි වන්නට පටන් ගත්තේය. මේ බළල් “කෝළම” පැවැතියේ තවත් ටික වෙලාවකි. ඌ බිම ඇද වැටී මර නින්දකට පිවිසියේ යෙලනා මහත් වූ පුදුමයකට පත් කරමිනි. තම සුරතල් බළලා නොහොත් මාර්කස්ට හදිසියේම මේ සිදුවුණු දේ ගැන මූණේ අත ගසාගෙන යෙලෙනා සවොරොන්කෝවා කල්පනා කරන්නට පටන් ගත්තේ දැඩි විස්සෝපයකිනි.
මේ කියන මාර්කස් බළලා සහ යෙලෙනා සවොරොන්කෝවා අයිතිකාරිය ජීවත්වන්නේ කසකස්තානයේ, අක්මොලා ප්‍රදේශයේ පිහිටි කලාචි නැමැති කුඩා ගම්මානයෙහිය. කලාචි ගම්මානය පිහිටා තිබෙන්නේ රුසියා දේශ සීමාවට සැතපුම් 250ක් පමණ ආසන්නයෙහි ඇති ක්‍රස්නොගෝරස් නගරයට ආසන්නයෙනි. කලාචිය ලෝක ප්‍රකට වී තිබෙන්නේ “නිද්‍රා නිම්නය” හැටියටයි. ගම්මානය එනමින් හැඳින්වෙන්නේ එහි ජීවත් වන 150කට ආසන්න පිරිසෙන් සෑම කෙනෙකුම දවසකට වරක්වත් හිටි අඩියේ “නින්දට වැටීමේ” අරුම පුදුම රෝගයකට ගොදුරුව ඇති නිසයි. මේ කියන නිද්‍රා රෝගය එක් එක් පුද්ගලයාට වැළඳෙන්නේ එක එක වෙලාවටය. ඒ වෙලාව කුමක්දැයි කියා කාටවත් නිශ්චිතවම කියන්නට පුළුවන්කමක් නැත. අනෙක් වැදගත් කාරණය, ඒ කියන නිද්‍රාවට නොවැටුණු කෙනෙකු ගමේ කොතැනකවත් නොසිටීමය. ගම ගෙවල්වලට වැදී සැප විඳින මාර්කස් වැනි සත්තුත් මේ නිද්‍රා රෝගයෙන් සමහර වෙලාවට පීඩා විඳිති. නිද්‍රා රෝගය වැළඳීගෙන එන විට සතුන්යැයි කියා හෝ මිනිසුන් යැයි කියා හෝ වෙනසක් නැත; දෙපාර්ශ්වයේ අයටම හිටි අඩියේ අග මුල පටලවෙන්නට පටන් ගැනේ. ඒ වගේ වෙලාවට අගමුල පැටලුණු අය කරන කියන දේ දිහා ටිකක් බලාගෙන හිටියොත් කෙනෙකුට සිනහා පළවන්නේ ඉබේටමය. ඒ වුණත් නිද්‍රා නිම්නය පුරා පැතිර ඇති මේ ගුප්ත නිදි වැදීමේ අසනීපය තත්ත්වය කාගේවත් අවඥාවට ලක්විය යුත්තක් නොවේ.
පුදුමයක මහත, සමහරුන් නින්දට වැටෙන්නේ මහ මඟ ගමන් කරමින් සිටින විටයි. තවත් සමහරුන්ගේ ඇස පියැවෙන්නේ වැඩක් පොළක් කරමින් කාර්යය බහුලව සිටිද්දී ය. ගැහැනු, පිරිමි, බාල, තරුණ, මහළු, ඇති හැකි අය වගේම නැති බැරි ආදී කොයි කවුරුත් බේදයකින් තොරව හිටි අඩියේ නින්දට වැටෙති. සමහරුන් වැටෙන්නේ මර නින්දකට ය. එහෙම ඇය නැඟිටින්නේ සතියක පමණ දිගු නිදි සුවයක් ලැබීමෙන් පසුවයි. පැය හය හතක නින්දකින් පසු අවධි වන අයත් සිටිති. කොහොම වුණත් නින්දට වැටුණු කිසිවකු නින්ද අතරමඟදී ඇහැරවා ගැනීම නම් බොරුවකි.
“…. නින්දට වැටුණු කෙනෙක් නැඟිට්ටවා ගන්නා බැහැ. ඔයාලා එයාට කතාකරනවා, නැඟිටින්න කියනවා. නමුත් නින්දට වැටුණු කෙනාටත් වුවමණාව තියෙනවා ඇස් දෙක අරින්න. නමුත් එයාට ඇස් අරින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා එයා දිගින් දිගටම නිදාගන්නවා. …” යැයි කියා “රෂියා ටුඩේ” පුවත්පතට වරක් ප්‍රකාශ කර තිබුණේ ඉගොර් සමුසෙන්කෝ නැමැත්තෙකි. හෙතෙම එක් දරු පියකු බව පුවත්පත වාර්තා කර තිබිණ. සමුසෙන්කෝගේ දරුවා කිහිපවරක්ම ගුප්ත නිද්‍රා අසනීප තත්ත්වයට පත්ව රෝහල් ගත කර තිබුණු බව වාර්තාවේ දැක්විණ.
නිද්‍රා නිම්නයේ තතු අනාවරණය කරන “ඩේලි මේල්” පුවත්පත 2015 වසරේ මැද භාගයේ පළ කළ වාර්තාවකින් කියා තිබුණේ ගුප්ත නින්දට වැටී සිටින පිරිමින්ගෙන් ඇතැමුන් තුළ ලිංගික උත්තේජනයක් අඛණ්ඩවම පවතින බවයි. ගුප්ත නින්ද හේතුවෙන් රෝහල්වලට රැගෙන එන පිරිමින්ට ප්‍රතිකාර කිරීමේදී කාර්යය මණ්ඩල මේ නිසා ඉතා අපහසුතාවකට පත්වන බවකුත් පුවත් පත පෙන්වා දී තිබිණ. ඒ අනෙකක් නිසා නොව නින්දට වැටුණු පිරිමි ලිංගික උත්තේජනයක් ඇතිව අවදි වී හෙදියන්ට “කරදර” පටන් ගැනීම නිසයි. ඒ කරදර කිරීම් කෙතරම් දරුණු වීදැයි කිවහොත් ඇතැමෙකු හෙදියන්ට පරිභව කරන්නට පටන් ගන්නේ ගණිකාවන් යැයි කියමිනි. තම සැමියන් මේ උත්තේජනයෙන් මිදී තිබෙන්නේ අද්භූත නින්දෙන් අවධි වී මසකට පමණ පසුව යැයි කියා තවත් සමහර බිරියෝ පැමිණිලි කරති.
මේ අරුම පුදුම නින්දන් අවධි වුණු අය තුළ කාමාශාවන් හැරුණු විට තවත් නානා ප්‍රකාර අසනීප තත්ත්වයන් දකින්නට පුළුවන. හිසරදය, නින්දට වැටුණු ඒ කාටත් පොදු තත්ත්වයකි. ශාරීරික අබල දුබලකම්, මතක ශක්තිය හීනවීම වැනි තත්ත්වයනුත් එවැනි අය අතර බහුලවම දැකිය හැකිය. පාලනයක් නැතිව දිගින් දිගටම මුත්‍රා පහවීම, කෑම අරුචිය වැනි ලක්ෂණවලින් පෙළුණු අයත් මේ අතර හිඟ නොවූහ. නින්දට වැටුණු තවත් පිරිමියකු අවධි වී තිබෙන්නේ නාසි ක්‍රමයට ආචාර සමාචාර දක්වමිනි. ඔහු වෛද්‍යවරයාව හැඳිනගෙන තිබෙන්නේ හිට්ලර් හැටියට ය. නින්දට වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ද බොහෝ අයගේ දෑස් ඉදිරිපිට විකාර රූපී දෑ මැවී තිබීම තවත් වැදගත් කාරණයකි. තමන් හා නිදි යහනට ගොඩවුණු සර්පයන්, පියාඹන අශ්වයන්, ඉගිලෙන දුම්රිය වැනි දසුන් දුටු අයත් එහි වෙති. මේ ගුප්ත නින්දට වැටෙන්නට ආසන්න වෙද්දී සමහරුන්ට දැනී තිබෙන්නේ තමන් අධික බීමත් ගතියකින් පසුවන බවකි. තවත් සමහරුන්ට ඔවුන්ගේ දිව රෝල් වී යන ආකාරයක් හැඟී තිබේ. කොහොම වුණත් නින්ද අතර තුර තමන්ට සිදුවුණු කිසිවක් ඔවුන් කාගේවත් මතකයේ නොතිබීම පොදු ලක්ෂණයකි.
ගුප්ත නිද්‍රා අසනීපය කලාචි ගමේ අයට වැළඳෙන්න පටන් ගත්තේ 2010 වසරේ සිටය. එතැන් සිට ගම්මානය විවිධ විධියේ විද්‍යාඥයන්ගේ අවධානයට ලක්විණ. නොයෙක් විෂයය ක්ෂේත්‍රවලට අයත් විද්වත්හු එහි ළඟා වී පර්යේෂණ කළහ. එවැනි අය අතර විකිර්ණ පිළිබඳ විශේෂඥයින්, විෂ සම්බන්ධ විද්‍යාඥයින්, ක්ෂුද්‍රජීවීන් පිළිබඳ විද්වතුන්, රසායන විද්‍යඥයන් වගේම වෛද්‍ය වෘත්තිකයන්ද, වූ බව කියැවේ. ඒ අය තම තමන් දන්නා කියන සෑම සියළු ආකාරයකම ශිල්ප ඥානයක්ම යොදා කලාචියේ ගුප්ත නිද්‍රාව ගැන තතු අනාවරණය කරගන්නට වෙහෙසුණාහ. වෛද්‍යවරු ගම් වැසියන්ගේ රුධිරය, කෙස්, දත්, නිය ආදිය යොදා ගනිමින් විවිධ මට්ටමේ පරීක්ෂණ සිදු කළහ. වාර්තාවල දැක්වෙන අන්දමට විවිධ තරාතිරමේ විද්වතුන් අඩු තරමින් පරීක්ෂණ 7000ක් වත් සිදුකර ඇත. අන්තිමට මේ විද්වතුන් කියා සිටියේ මිනිසුන්ගේ මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමෙන් මෙවැනි අකරතැබ්බයක් සිදුවන බවකි. තවදුරටත් කළ සොයා බැලීම්වලින් තහවුරු වුණේ නින්දට වැටෙන්නට හේතු වී ඇත්තේ වායූගෝලයේ කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීමක් බවය.
නින්දට හේතුවන්නේ යැයි කියා සැක සිතෙන කාරණයක් ගැන කලාචියේ ගම්මුන් අතර ඒ වනවිටත් කටුකුටුවක් පැවැතියේය. කලාචියට ආසන්න ප්‍රදේශවල පවතින යුරේනියම් පතල් ඒ කටුකුටුවට මුල් වී තිබිණ.
කලාචියට ආසන්නයේ ඇති යුරේනියම් පතල් කලාචියටවත් කසකස්තානයටවත් අයත් ඒවා නොවේ. ඒවා තිබෙන්නේ රුසියාවට අයත් භූමියේය. එකී යුරේනියම් පතල්වල කැණීම් කටයුතු කෙරුණේ සෝවියට් සමුහාණ්ඩුව පැවැති කාලයේයි. පසු කලෙකදී මේ පතල්වලින් ඇතැම් ඒවා වසා දැමිණ. එසේ වසා දමන ලද පතල්වලින් සමහරක් කසකස්තානයට ආසන්න රුසියා භූමියේ පිහිටි ඒවාය. කලාචි ප්‍රදේශවාසීන් කියන්නේ එවැනි යුරේනියම් පතල්වලින් නැඟෙන කිසියම් රසායනිකයක් නිසා නිද්‍රා සහගත තත්ත්වය ඇතිවන බවයි. ගම්මු කියන මේ කතාවේ ඇත්ත නැත්ත සොයන්නටත් විද්‍යඥයෝ පිරිසක් මහන්සි ගත්හ. නමුත් තහවුරු වුණේ විකිරණශීලිතාව පිළිබඳ ගැටළුවක් කලාචියේ කිසිදු තැනෙක දක්නට නොලැබෙන වගකි. ඒ වගේම බැර ලෝහ හෝ බැර ලෝහවල ලවණ වර්ග හෝ කලාචියේ නැති බවත් විද්‍යඥයෝ තහවුරු කළහ. එහෙනම් ගම්මුන් කියන යුරේනියම් පතල්වල බලපෑම බොරුවක්ද? කියන ගැටලුව පැනනැඟේ. කොහොම වුණත් ගැඹුරු අධ්‍යාපනයක් නැති ගම්මුන් කියන කතා ඒ හැටි විද්‍යාත්මක නැත. එහෙව් කියා ඒවා මුළුමනින්ම ඉවත දමා අහක බලාගන්නටත් නවීන ලෝකයේ විද්වතුන්ට ඉඩක් ඇත්තේ නැත. හිසරදයක් වුණු මේ ප්‍රශ්නයට කෙටි උත්තරයක් හොයා ගන්නට ඒ ඉඩ දේශපාලනඥයන්ට හොඳටම ප්‍රමාණවත් විණ. වායූ ගෝලයේ ඇති අධික කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රෝ කාබන, ගුප්ත නින්ද ඇතිකරන්නට හේතුව යැයි කියා ඔවුහූ ඍජුවම කියා සිටියහ. ඇත්තටම හේතුව එයද?
පරිසරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩුවී කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වූ විට නිදිමත ගතිය ඇතිවන බව සැබෑවකි. ගැටලුව මේ කියන වායු සංයුතිය ඇතිවන්නේ කෙසේද? කුමන වෙලාවේදීද යන්නයි. අනෙක් අතට ඒ කියන සංයුතිය පවතින අවස්ථාවන්හිදී ගුප්ත නින්දට වැටෙන්නේ කලාචියේ තැනින් තැන ජීවත්වන කිහිප දෙනකු පමණි. විෂ වායුවක හෝ විෂ රසායනිකයක හෝ නිකුතුවක් නම් එකවර විශාල පිරිසකට එහි බලපෑම එල්ල විය යුතු ඇත. ඒ වගේම යුරේනියම් පතල් ආශ්‍රයෙන් සේවය කරන මිනිසුන් ද නොසිටිනවා නොවේ. යුරේනියම්වලින් නික්මෙන වායු සහ රසායනිකයන් නිසා ඒ අයත් මේ විධියට නින්දට වැටෙනවාද?. අපට එවැනි ප්‍රවෘත්තියක් කිසිදාක අපට අසන්නට, දකින්නට ලැබී නැත. එහෙ නම් රුසියාවේ වසාදමන ලද යුරේනියම් පතල්වල කරදරය කලාචියට මේ කියන විධියට බලපා ඇතැයි කියා කිවහැකිද?
කලාචි ගම් වැසියන් වෙනත් ස්ථානවල පදිංචි කරවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නට කසකස්තාන රජයට අන්තිමට සිදු විය. එය 2015 වසරේ සිට ආරම්භ වුණු බව දැක් වේ. එහෙත් මිනිසුන් සහ සතුන් පිස්සු වට්ටවා නින්දට ඇදගෙන යෑමේ කලාචියටම ආවේණික ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණු බවට ආරංචියක් නැත.
මීළඟට:
කවදාවත් විවෘත කරන්නට බැරිවුණු කොරියාවේ හෝටලය